බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.03.14 දින පෙරවරුවේ පැවසීය.

පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය හා ප්‍රතිසංස්කරණය කරමින් සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති දේවහන්දියේ සද්ධානන්ද නායක හිමියන් බැහැදැක අදට යෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනයට සුභ පැතුම් එක් කළේය.

අනතුරුව ප්‍රතිසංස්කරණය කළ විහාරස්ථානයේ මකරතොරණ, චෛත්‍යයේ කොත නිරාවරණය කළ අග්‍රාමාත්‍යතුමා සිය පැමිණිම සංකේතවත් කරමින් රත් හඳුන් පැලයක් විහාරස්ථානයේ රෝපණය කළේය.

මහාවිහාර වංශික ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ පූජනීය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමි, බිබිලියාදෙණිය ශ්‍රී මලියදේව මහ පිරිවෙණේ පරිවේණාධිපති හා තත් විහාරාධිපති කටුගම්පොළ හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක විමලකීර්ති ශ්‍රී වාගීස්වරාචාර්ය කහටවිල පියරතන නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය මෙහි වැඩම කළ වඳාළහ.

Latest Video