සෑම පුන් පොහෝ දිනකම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 210 වැන්න වෙසක් පුන් පොහොය යෙදෙන අද (26) දිනයේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

පළමුව අග්‍රාමාත්‍යතුමා, ආර්යාව ඇතුළු පිරිස අරලියගහ මන්දිර පරිශ්‍රයේ පිහිටි බෝධීන් වහන්සේට මල් පහන් සුවඳ දුම් පූජා කොට ආගමික වතාවත්වල නිරත වූහ.

අනතුරුව ධර්ම දේශනාව සඳහා වැඩම කළ අමරපුර සිරි සුමන විහාර පාර්ශ්වයේ මහනායක පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වෙහෙර නිර්මාතෘ ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල මහනායක  ස්වාමීන්වහන්සේට  අග්‍රාමාත්‍ය ආර්යා ශීරන්ති රාජපක්ෂ මහත්මිය දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළාය.

ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදා දීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 210 වැන්න පින්බර වෙසක් පොහොය දිනයේ වැදගත්කම  සහ මෙම ජිවන දිවියේ අනිත්‍යතාව පෙන්වා දෙමින් ධර්ම කරුණු සාකච්ඡා කෙරිණි.‍

අදට වසර 2565 කට පෙර පිරිනිවන් පෑ සුගත තතාගථ බුදුරජාණන් වහන්සේ ඔබේ සිත තුල බුදු කුටියක් කරගන්නැයි සිරි සුමංගල නාහිමියෝ සමස්ත ලෝක වාසී බෞද්ධ ජනතාවගෙන් මෙහි දී ඉල්ලා සිටියහ.

වෛරය, ක්‍රෝධය, ඊර්ෂියාව තුරන් කරගෙන ජීවත්විය යුතු බව පෙන්වා දුන් මහ නාහිමියෝ වසංගත තත්ත්වය තමන්ගෙ දරුවගෙ මරණයට මල්මිටක් තැබීමටවත් අවසර නොමැති තැනකට පත්කිරීමෙන් පෙන්වා දෙන්නේ මේ ලෝකය මායාවක් මිරිඟුවක් බව යැයි දේශනා කළහ.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පැවති “අමාදම් සිසිලස” 210 ධර්ම දේශනාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ පවුලේ සාමාජිකයෝ කිහිපදෙනෙක් එක්ව සිටියහ.

 

නවතම දර්ශන