අභිනවයෙන් ඉදිකළ නවග්‍රහ මණ්ඩපය විවෘත කිරීම

2021.07.14 වන (හෙට දින) දින පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ නවග්‍රහ මණ්ඩපය විවෘත කිරීම ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගී හෙට පෙරවරුවේ සිදු කෙරේ.

 රටට පවත්නා නවග්‍රහ දෝෂ සහ කොවිඩ් 19 වසංගත තත්වයෙන් පීඩාවට පත්වූවන්ට  සෙත් පතා සතියක කාලයක් මෙහි නවග්‍රහ පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව  නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ  අදහස් දක්වයි.

අග්‍රාමාත්‍යතුමා රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය නරඹයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය-2021ආරම්භක දිනය වූ ඊයේ (10) රාත්‍රියේ "මංගල පෙරහර" නැරඹීම සඳහා ගරු අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා එක්ව සිටියේය.

කතරගම ඇසළ මංගල්‍යයේ ප්‍රධාන අංගයක් ලෙස වාර්ෂිකව පවත්වන පෙරහර මංගල්‍යය සුවිශේෂී සම්ප්‍රදායන් හා චාරිත්‍රවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් සංවිධානය වෙයි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ඇසළ මහා පෙරහර මංගල්‍යය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මහජන සහභාගීත්වයකින් තොරව සංවිධානය වේ.

මංගල පෙරහර පැවැත්වෙන අවස්ථාවට රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රජ මහ විහාරාධිපති ආචාර්ය කොබවක ධම්මින්ද නාහිමි සහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කළ වදාළහ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් වික්‍රමරත්න ගුණසේකර, කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපති චානක අමිල් රංගන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍යතුමා කතරගම කිරිවෙහෙර ආගමික වතාවත්වල නිරතවෙයි

කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (09) පස්වරුවේ එහි ආගමික වතාවත්වල නිරත වූයේය.

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රජ මහ විහාරාධිපති ආචාර්ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ සුව දුක් විමසා බැලූ අග්‍රාමාත්‍යතුමා පළමුව උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තේය.

අග්‍රාමාත්‍යතුමා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිස කිරිවෙහෙර ආගමික වතාවත්වල නිරතවූයේ ඉන් අනතුරුවය.

කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය කිරිවෙහෙර අභියස දී සෙත් පිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යතුමාට ආශිර්වාද පළ කළහ.

මෙම ආගමික වතාවත් සඳහා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් වික්‍රමරත්න ගුණසේකර, හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී විමල් ගලගම ආරච්චි, කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපති චානක අමිල් රංගන මහත්වරු ඇතුළු ප්‍රාදේශිය දේශපාලඥයෝ පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍යතුමා කාල්ටන් නිවසේ දී පෙහෙවත් සමාදන්වෙයි

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවසේ සිට ආගමික වතාවත්වල යෙදෙන්නැයි දුන් උපදේශය අනුව යමින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොසොන් පුර පසළොස්වක පොහොය යෙදුණ අද (24) දින උදෑසන තංගල්ල කාල්ටන් නිවසේ දී පෙහෙවත් සමාදන් විය.

තංගල්ල වනවාසී කුඩා විහාරයේ පූජ්‍ය පොල්වත්තේ පේමානන්ද ස්වාමීන් වහන්සේ විසින් අග්‍රාමාත්‍යතුමා පෙහෙවත් සමාදන් කරනු ලැබූහ.

බුදු දහමේ උතුම් හරය නිවැරදිව තෝරා බේරා ගනිමින් බුද්ධ දර්ශනය අනුව අනාගත දිවි පෙවෙත සැලසුම් කර ගැනීමට මෙම කාලය ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යතුමා සිය පොසොන් දින පණිවුඩයෙන් ද අවධාරණය කර තිබිණි.

“අමාදම් සිසිලස” 211වැන්න අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි

සෑම පුන් පොහෝ දිනකම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස”ධර්ම දේශනා මාලාවේ 211 වැන්න අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ලංකාගමනය සිදු වූ පොසොන් පුන් පොහොය නිමිත්තෙන් අද (24) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

උඩුගම්පොල දොඹවල ශ්‍රී සද්ධර්මගුප්ත පිරිවෙන් මූල මහා විහාරාධිකාරී නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනපති රාජකීය පණ්ඩිත කොබ්බෑවල මේධංකර  ස්වාමීන්වහන්සේ මෙවර අමාදම් සිසිලස ධර්ම දේශනාව සඳහා වැඩම කළහ.

ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ධර්ම දේශනාව සඳහා වැඩම කළ රාජකීය පණ්ඩිත කොබ්බෑවල මේධංකර  ස්වාමීන්වහන්සේට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාව සඳහා ආරාධනා කළාය.

ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදා දීමේ අරමුණ පෙරදැරිව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනාව සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ධම්මපද පාලියේ සුඛ වග්ගයේ එන ගාථා පාඨයක් සහ ධම්ම පද අට්ඨ කතාවක් මූලාශ්‍ර කරගනිමින් පැවැත්විණි.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පැවති “අමාදම් සිසිලස” 211 වැනි ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පවුලේ සාමාජිකයෝ කිහිපදෙනෙක් එක්ව සිටියහ.

ගරු අග්‍රාමාත්‍ය තුමාගේ පොසොන් පොහොය දින පණිවුඩය

අදීන ජාතියක් ලෙස නිර්මල බුදුදහම අනුගමනය කරමින් සහජීවනයෙන් කටයුතු කිරීමට මග පෙන්වා දුන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය අද වැනි උතුම් පොසොන් පොහොය දිනයක දී ගෞරවයෙන් යුතු ව සිහිපත් වේ.

ධර්මාශෝක රජු හා දේවානම් පියතිස්ස නිරිඳුන් අතර පැවති රාජ්‍යතාන්ත්‍රික කල්‍යාණ මිත්‍රත්වයේ මහඟු ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී පමණ බුදුදහම ලක්දිවට දායාද විය. මෙමගින් අපගේ ජාතිය, ආගම මෙන් ම සංස්කෘතියේ නව යුගය ඇරඹිණි.

සීලය, මෛත්‍රිය, ගිලානෝපස්ථානය, ආගන්තුක සත්කාරය වැනි උතුම් ගුණාංග සපිරි ශිෂ්ට සම්පන්න ජාතියක් මෙරටෙහි බිහි වූයේ ද ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංස්කෘතික පදනම මත ධර්ම ද්වීපය හා පෙරදිග ධාන්‍යාගාරය ලෙස සිරිලක විරුදාවලියට පත් වූයේ ද මිහිඳු මාහිමියන් අප වෙත දායාද කළ බුදුදහමේ ආලෝකයෙනි.

බෞද්ධ සංස්කෘතිය තුළ කලාව, අධ්‍යාපනය, තර්ක බුද්ධිය, කෘෂිකර්මාන්තය ආදී සැම අංශයක් ම දියුණු විය. මිහිඳු මාහිමියන් හඳුන්වා දුන් බුදුදහමේ ජීව ශක්තිය නිසා ශ්‍රී ලාංකිකයන් ලොව කිසිදු ජන වර්ගයකට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස පෙරට ආ බව මම සිහිපත් කරමි.

වෙනදා පොසොන් පොහොයට බැතිමතුන්ගෙන් පිරී යන මිහින්තලා පුද බිම අද එසේ නොවන්නේ මිනිස් ජීවිත බිලි ගනිමින් ලොව පුරා පැතිර යන කොවිඩ්-19 වසංගතයෙන් අප සියලු දෙනා ආරක්ෂා විය යුතු නිසා ය.

බුදුදහමේ උතුම් හරය නිවැරදිව තෝරා බේරා ගැනීමටත් බුද්ධ දර්ශනය අනුව අනාගත දිවි පෙවත සැලසුම්කර ගැනීමටත් දුෂ්කරව ගෙවා දමන මෙම කාලය ඉතා වැදගත් බව මාගේ විශ්වාසයයි.

මෙම උතුම් පොසොන් පොහොය දිනය ධර්මාවබෝධය පිණිස සිත් පහන් දැල්වූ අර්ථාන්විත දිනයක් බවට පත් වේවා! යි මම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණින් සැමට නිරෝගී සම්පත වේවා!

මිහින්තලා පුද බිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවයේ කටයුතු අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් නිසි ගෞරවයෙන් යුතුව සංවිධානය කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) දින පස්වරුවේ සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මිහින්තලා පුද බිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙවරත් රාජ්‍ය පොසොන් උත්සවයට සමඟාමී ප්‍රධාන උත්සව සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජ මහා විහාරස්ථාන මූලික කරගනිමින්ද සංවිධානය වේ.

සිතුල්පව්ව රජ මහා විහාරස්ථානාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය මැටරඹ හේමරතන නාහිමියෝ සහ මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියෝ මෙහි වැඩම කළ වදාළහ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් පේමසිරි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘතවෙයි

කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (26) දින පස්වරුවේ විවෘත විය.

ගංඟාරාම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යතුමා සහ ආර්යාව ආගමිකවතාවත්වල නිරතවීමෙන් අනතුරුව පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේරවරු 100කට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනට ද එක්වූහ.

මෙහිදී “සාමණේර රැකවරණ” ශිෂ්‍යත්ව ප්‍රදානය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමා සාමණේර හිමිනමකට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කළේය. අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද මෙම උතුම් කාර්යය හා එක්වූවාය.

ගංඟාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ මෙහිදී අනුශාසනාවක් පැවැත්වූහ. වෙසක් මංගල්‍යයේ අරුත් පැහැදිලි කළ උන්වහන්සේ කොවිඩ්-19 වසංගතයේ භයානකකම පෙන්වා දෙමින් මෙවර බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය සංවිධානය කළ ද ජනතාවට එය නැරඹීමට පැමිණිය නොහැකි බව දැනුම් දුන්හ.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා ගංඟාරාම සීමා මාලකය අසලදී බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය නිල වශයෙන් විවෘත කළේය.

අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක වල්පොල පියනන්ද නාහිමි, මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, මාතර හිත්තැටිය රජමහ විහාරය සහ කොට්ටාව මාලපල්ල ශ්‍රී සුදර්ශනාරාම අධිපති සහ හිටපු බස්නාහිර පළාත් පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත අග්‍රහැර කස්සප නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමකළ වදාළහ.

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට සහ අනිද්දා සුරා සැල් හා මස් මාංශ අලෙවි සැල් වසා දමන්නැයි අග්‍රාමාත්‍යතුමා නියෝග කරයි

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (26) සහ අනිද්දා (27) දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් සහ මස් මාංශ අලෙවි සැල් වසා දමන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

ඒ අනුව 26 හා 27 දෙදින සියලුම සුරා සැල්,සතුන් මරණ ස්ථාන, මස් මාංශ අලෙවි සැල් වසා දැමිය යුතු අතර සුපිරි වෙළඳ සැල් ඔස්සේ මත්පැන් අලෙවිය මෙන්ම මස් මාංශ අලෙවි කිරීම නතර කරන්නැයි අග්‍රාමාත්‍යතුමා දන්වා ඇත.

සංචරණ සීමා කාලයන්ට අදාළව දැනටමත් සුරා සැල් වසා තබන්නැයි රජය විසින් නියෝග කර තිබෙන අතර වෙසක් උත්සවයට සමඟාමීව හෙට සහ අනිද්දා මස් මාංශ අලෙවිය ද මුළුමනින්ම නවතා දැමිය යුතු බව අග්‍රාමාත්‍යතුමා දන්වා සිටියි.

වෙසක් දින පණිවුඩය

සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිගැන්වෙන වෙසක් මංගල්‍යය ලොව පුරා වෙසෙන බෞද්ධ සැමගේ උතුම්ම මංගල්‍යයයි.

බෞද්ධ උරුමයන්ගෙන් සුපෝෂිත ප්‍රෞඩ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය ජනතාව ලෝකවාසී බෞද්ධයන් සමඟ එක්ව මෙම උතුම් තෙමඟුල බැතියෙන් සමරති.

ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ට මුල් තැන දෙමින් වෙනදා ඉමහත් හරසරින් සමරන වෙසක් මංගල්‍යය මෙවර සැමරීමට සිදුව ඇත්තේ ලොව පුරා පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ය.

ඒ නිසා බෞද්ධ දර්ශනයේ එන ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගැනීමටත් බුදුන්වහන්සේ වඩාත් අගයකොට සැලකූ ප්‍රතිපත්ති පූජාවන්ට නැඹුරුවීමටත් මෙම කාලය වඩාත් යෝග්‍යය වේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය නිවැරදිව අවබෝධ කරගැනීම මෙවන් අභියෝගාත්මක කාලයකට මුහුණදී  ධර්මානුකූලව ජීවත්වීම සඳහා මනා පිටුබලයක් සපයයි.

උත්තරීතර බුදු දහම බෞද්ධයන්ට පමණක් නොව සමස්ත මිනිස් සංහතියටම උරුම වූවකි. එහෙයින් ඉතිහාසය පුරාවට ජාතික හා ආගමික සහජීවනය වැඩිදියුණුවීමට බුදු දහමෙන් අප ලැබූ හික්මීම මහඟු කොට බලපෑ අතර ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ලොව හමුවේ අභිමානයෙන් නැගී සිටීමට ද එය ඉවහල් විය.

මෙවර ජාතික වෙසක් උත්සවය යාපනය නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් උත්කර්ශවත්ව පැවැත්වීමට නියමිතව තිබුණ ද පවතින වසංගත තත්ත්වය ඊට බාධා පැමිණුවේය.

එසේ වුවද උතුම් වෙසක් දිනය අර්ථවත්ව සැමරීමට වසංගත තත්ත්වය බාධාවක් නොවන අතර ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී නිවසේ සිට බැති සිතින් උතුම් වෙසක් තෙමඟුල මෙවර  සමරන්නැයි සියලුම ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගෙන් මම ඉල්ලා සිටිමි.

කොවිඩ් වසංගතය මුළු ලොවින්ම තුරන්වී සියලු ජනතාවට පෙර පරිදි නිරෝගීමත්ව ජීවත්වීමට හැකිවේවා ! යැයි මෙම උතුම් වෙසක් දිනයේ ඔබ කරන ප්‍රාර්ථනාවට බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා වශයෙන් මම ද එක්වෙමි.

සියලු ලෝ සතුනට ඉවසීම දයාව කරුණාව හා මෛත්‍රිය පිරි ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවා !

නවතම දර්ශන