සපරගමු මහ සමන් දේවාලයේ අභිනව ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට අග්‍රාමාත්‍යතුමා පළමු මල් පූජාව පවත්වයි

December 28th, 2021

ඓතිහාසික සපරගමු මහ සමන් දේවාල පරිශ්‍රයේ අභිනවයෙන් තැන්පත් කළ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය සහ පළමු මල් පූජා පිංකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) දින පැවැත්විණි.
රත්නපුර ශ්‍රී සුමනාරාම විහාරස්ථානාධිපති පූජ්‍ය කරවිට උපනන්ද නාහිමියෝ මෙහි දී අභිනව ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කළහ.
අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ප්‍රතිමා වහන්සේට පළමු මල් පූජාව පැවැත්වීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කෙරුණු අතර ඊට අදාළ ඉදිකිරීම් කටයුතු සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මැදිහත්විය.
මහවෙල ශ්‍රී ධර්මායතන පිරිවෙන් විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක කෑලිගම විජිතානන්ද නාහිමි පිංකමට පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටවූහ.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී පාදස්ථානාධිපති පොත්ගුල් රජමහා විහාරය හා පැල්මඩුල්ල රජමහා විහාරය යන උභය විහාරාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියෝ මෙහි දී අනුශාසනාවක් පැවැත්වූහ.
සපරගමු මහ සමන් දේවායේ ඓතිහාසික වැදගත්කම මෙන්ම මෙම පිංකමේ වටිනාකම පෙන්වා දුන් උන්වහන්සේ බුද්ධශාසන අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශයක් ඒ සම්බන්ධයෙන් අවබෝධයක් තිබෙන අග්‍රාමාත්‍යතුමාට පැවරී තිබීම ගැන ප්‍රශංසා පෙරදැරිව අනුශාසනා කළහ.

ගොඩකවෙල ශ්‍රී මහින්ද මහා විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ සබරගමුව පළාතේ අධිකරණ සංඝනායක කෝම්පිටියේ සුසීල හිමියෝ මෙහිදී අනුශාසනාවක් පවත්වමින් මෙසේ පැවසූහ.

“මේ රටේ රජවරු කරගෙන ආ වැව දාගැබ ගම පන්සල සංස්කෘතිය ඔපමට්ටම් කරමින් අනුරාධපුර පුදබිමේ සඳහිරු සෑය නිර්මාණය කරමින් අග්‍රාමාත්‍යතුමා මහා පිංකමක් පසුගියදා සිද්ධ කළා. ඒ මහා පිංකමත් අද මේ රුවන්පුරයට ඇවිල්ලා මේ බුද්ධ ප්‍රතිමාව විවෘත කරමින් පුද පුජාවට ප්‍රාප්ත කරමින් සිද්ධ කරගත්ත පිංකමත් හේතු කොට ගෙන අපි හැමදාම ආදරය කරන අපි හැමදාම ගරු කරන අපි හැමදාම විශ්වාසය තබාපු අපේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාට කාය චිත්ත ශක්තිය ලැබේවා! සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා! තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබිලා තව දවස් තුනකින් උදාවෙන 2022 ජනවාරි 01වැනිදා සිට මේ රට නව මාවතක් කරා ගෙන යන්නට ඔබතුමාට වාසනාව ශක්තිය,ධෛර්ය ලැබේවා! කියලා, මේ රුවන්පුරේ ආසන අටම නියෝජනය කරන ගරුතර මහා සංඝරත්නය මෙතනදී ප්‍රාර්ථනා කරනවා.”යැයි කෝම්පිටියේ සුසීල ස්වාමීන්වහන්සේ පැවසූහ.

මෙහි දී සුමන සමන් දේව ප්‍රතිමාවේ අනුරුවක් බස්නායක නිලමේ තැන්පත් මිගාර ජයසුන්දර මහතා විසින් අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගන්වනු ලැබීය.

සමාධි බුද්ධ ප්‍රතිමාවේ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමට අදාළ ඉදිකිරීම් කටයුතුවල නිරත වූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සාමාජිකයින්ට මෙහි දී අග්‍රාමාත්‍යතුමා අතින් ඇගයීම් සහතික පිරිනැමිණි.
අනතුරුව සපරගමු මහ සමන් දේවාලයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේව පූජාවට ද සහභාගි වී ආශිර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්ත, අකිල සාලිය එල්ලාවල, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව,සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න,සබරගමු පළාත් හිටපු අමාත්‍ය රංජිත් බණ්ඩාර , සබරගමු පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්,රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම, සපරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් මිගාර ජයසුන්දර, ප්‍රධාන කපු මහතා වන ඩබ්ලිව්.එන්.කේ ගයාන් නාලන්ද විජය නාරායන මහත්ම මහත්මීහු ඇතුළු බැතිමත්හු පිරිසක් එක්ව සිටියහ.