උතුරේ ජනතාවගේ සංස්කෘතික ප්‍රබෝධයේ මං පෙත් විවර කරමින් “ යාපා පටුනේ සංස්කෘතික මහ මැදුර ” විවෘත විය.

පෙබරවාරි 14th, 2023

ඉන්දීය රජයේ ආධාර මත රුපියල් කෝටි 1350ක වියදමින් යාපනයේ ඉදි කළ “සංස්කෘතික මහ මැදුර” විවෘත කිරීමේ කටයුතු ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය(11) දා උත්කර්ෂවත් ලෙස පැවැත්විිය 75 වන නිදහස් සංවත්සරයට සමගාමීව මෙම “සංස්කෘතික මහ මැදුර” විවෘත්ත කිරීමේ උත්සවය සංවිධානය වූ අතර ප්‍රාසාංගික සංස්කෘතික අංගයන්ගෙන් ද අලංකාරවත් විිය මෙම සංස්කෘතික ගොඩනැගිල්ල, ඉන්දීය අගමැති ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමාන් ඇතුළු ඉන්දීය ජනතාව විසින් අප රටට ලබා දුන් ත්‍යාගයි.

යාපා පටුනේ මනරම් භූමි භාගයක් පුරා පැතිරුණු මෙම “සංස්කෘතික මහමැදුර” ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙණු කාලයේ සිටම, පසුගිය දෙවසරේ දී මෙහි ඉදිකිරීම් සහ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ අවධානය යොමු විිය එසේ ම එම කාලවකවානුවේ දී එහි ගොස් අදාල කටයුතු පරීක්ෂා කල අතර අදාළ නිළධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. විශේෂයෙන්ම උතුරේ දමිළ ජනතාවගේ සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනයට මෙවන් වූ පහසුකම් ලබා දීමෙන් ලැබෙන දායකත්වය අප්‍රමාණය. මුළු මහත් ශ්‍රී ලාංකේය ජනතාවම ඇළුම් කරන, රස විඳින දමිළ ප්‍රාසාංගික සංස්කෘතික අංග රැකගනිමින් අනාගත දරු පරපුරට දායාද කිරීම අප සියළු දෙනාගේම වගකීමි. මේ වෙනුවෙන් විෂය භාර අමාත්‍යතුමාත්, අමාත්‍යංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් ද කැපවෙනු ඇත. අපේ රටේ විවිධ වූ ප්‍රජාවන් හී විවිධ වූ සංස්කෘතික අංගයන් සැමට එකසේ රසවිඳිය හැකි බව නොරහසි. උතුර – දකුණ යා කෙරෙන සහෝදරත්වයේ මාවත එයයි.

මෙම උත්සවය සඳහා ඉන්දීය ධීවර රාජ්‍ය අමාත්‍ය ගරු එල්. මුරුගන් මැතිතුමන්, රාජ්‍ය අමාත්‍ය ගරු කාදර් මස්තාන් මැතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අංගජන් රාමනාදන් මැතිතුමන්, ගරු සෙල්වම් අඩෙක්කලනාදන් මැතිතුමන් , ගරු එම්. ඒ. සුමන්තිරන් මැතිතුමන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම්. ඉලංගෝවන්, යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වී සිටි‌යහ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ .