“බන්දුල විජේවීරයන්“ වෙනුවෙන් හැඩ වූ අලව්ව අලුත් අවුරුදු උළෙල

අප්‍රේල් 10th, 2023

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හා සබැඳී හෙළ චාරිත්‍ර වාරිත්‍රයන් අනාගත දරු පරපුර වෙනුවෙන් දායාද කිරීමේ අරමුණින් පැවැත්වූ අවුරුදු උළෙලක්, අලව්ව සංස්කෘතික මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් ප්‍රවීණ කලාකරු බන්දුල විජේවීර මහතාගේ ප්‍රධානත්වෙන් එතුමන්ගේ අලව්ව නිවසේ දී අද (07) පැවිත්විණි.

අප ප්‍රධාන සංස්කෘතියෙන් මේ වන විට වියැකි යමින් තිබෙන හෙළ ජන ක්‍රීඩා,ජන ගායනා හා චාරිත්‍ර වාරිත්‍රයන්ට මුල්තැන දෙමින් මෙම අවුරුදු උළෙල පැවැත්වීමට උළෙල සඳහා සහභාගී වූ සංස්කෘති මධ්‍යස්ථානයේ දරු දරියෝ එහිදී කටයුතු කළහ.

ලාංකේය කලා කෙත සාරු සාර ලෙස අස්වැද්දීමට මහත් වූ සේවාවක් සිදු කළ ප්‍රවීණ කලාකරු බන්දුල විජේවීර මහතාගේ සේවාව අගය කිරීම වස් මෙම උළෙල සංවිධාය කළ බව අලව්ව සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී පී. නදීකා නිරෝෂණී මහත්මිය එහිදී සඳහන් කළා ය.

සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස තමන් සහභාගී වූ විවිධාකාර උත්සව අතරින් මෙම උත්සවයට සහභාගී වීමට ලැබීම ඉතාම සතුට ගෙන දුන් කරුණක් බවත්,වසර ගණනාවක සිට විජේවීර මහතා අලව්ව ප්‍රදේශය වෙනුවෙන් කළ සේවාව ඇගයීම පිණිස සිදු කළ මෙම ක්‍රියාව අගය කරන බවත් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී සඳහන් කළේ ය.

අලව්ව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පද්මා වෑත්තෑව,සුනිල් වෑත්තෑව,සහකාර සංස්කෘතික නිලධාරී ආර්.එන්.මධුවන්ති යන මහත්ම මහත්මිහු හා සිසු දරුවන්,දෙමාපියෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.