සද්ධර්ම කීර්ති ශ්‍රී කොටියාගොඩ අත්තදස්සී මාහිමිපාණන් වහන්සේ වෙත කොළඹ කඩවත් සතර උප ප්‍රධාන සංඝනායක පදවිය පිරි නැමේ…

මැයි 19th, 2023

දෙමටගොඩ ශ්‍රී සාම විහාරය, කොටියාගොඩ පුරාණ රජ මහා විහාරය, මයුරාගම ශ්‍රී සෝමානන්ද විහාරය යන විහාරත්‍රයන් හී විහාරාධිපති, සද්ධර්ම කීර්ති ශ්‍රී සෝමානන්ද ගෞරවාර්හ කොටියාගොඩ අත්තදස්සි මා හිමියන් වෙත කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව වෙතින් ශාසන කීර්ති ශ්‍රී සෝමානන්ද යන ගෞරව නාම සම්මුතිය සමඟ කොළඹ කඩවත් සතර උප ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් අක්තපත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යොත්සවය ඊයේ (20) කෝට්ටේ රජ මහා විහාරයේ දී පැවැත් වුි.

කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ධූරන්දර අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාරාභිධාන මහා නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුණ්‍ය මහෝත්සවයේ දී, උන්වහන්සේ විසින් පුජ්‍ය කොටියාගොඩ අත්තදස්සි මා හිමියන් වෙත සන්නස්පත්‍රය භාර දෙනු ලැබුණි. අනතුරුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා විසින් විජිනි පත පූජා කරන ලදී.

මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා නායක අනු නායක මහා සංඝරත්නය ඇතුළු බොහෝ පිරිසක් වැඩමකොට වදාළහ. විහාරස්ථාන දායක සභාවන් හී සහ කොටියාගොඩ අත්තදස්සි නාහිමිපාණන් වහන්සේ ගේ පවුලේ ඥාතීන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.