ජාත්‍යන්තර දුම්වැටි නිවාරණ දිනය 2023…

ජූනි 1st, 2023

“අපට අවශ්‍ය ආහාර-දුම්කොළ නොවේ” යන තේමාව යටතේ මෙවරද ජාත්‍යන්තර දුම්වැටි නිවාරණ දිනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. දුම්වැටියෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙලෙස ජාත්‍යන්තර දුම්වැටි නිවාරණ දිනයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ වර්ෂ 1988 මැයි 31 වන දිනයයි. ඒ අනුව ලොව බොහෝ රටවල් දුම්වැටි නිවාරණය සඳහා ක්‍රියාත්මක වේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය 2023 ජාත්‍යන්තර දුම්වැටි නිවාරණ දින ප්‍රධාන වැඩසටහන 2023.05.31 දින පෙරවරුවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා අමාත්‍යාංශ ලේකම්තුමන් නියෝජනය කරමින් අතිරේක ලේකම්(පාලන) නාලිකා පී. ගුණරත්න මෙනවිය, පරිසර ආරක්ෂණ, ප්‍රජා පොලිස්, මහජන සාමය කළමණාකරන දිසාව බස්නාහිර නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ජාසිංආරච්චි, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ආශා ජයවර්ධන මහත්මිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පුහුණු ලුතිනන් කර්නල් ආර්.එම්.එම්.රත්නායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.

සර්ව ආගමික නායකත්වය, ත්‍රිවිධ හමුදාව, ශ්‍රි ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව, පාසල් දූදරුවන්, ගුරුභවතුන්, මහජන ආරක්ෂක කමිටු සාමාජිකයින් හා තවත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි පිරිස් මේ සඳහා සහභාගි විය.

වැඩසටහනෙහි ප්‍රධාන දේශනය ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී, කථීකාචාර්ය දේශබන්දු නලීන් අමරසිංහ මහතා විසින් පැවැත්වීය. ඔහු සඳහන් කළේ ලොව සිදුවන වළක්වාගත හැකි මරණවලට ප්‍රධාන හේතුව දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය බවයි. මරණය ළඟා කරන එකම පාරිභෝගික භාණ්ඩය දුම්වැටි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට ලෝක ජනගනයෙන් මිලියන අටක් දුම්කොළ භාවිතය නිසා වාර්ෂිකව මිය යන බවයි. බෝනොවන රෝග සඳහා ප්‍රධාන හේතුවක් ලෙස දුම්පානය සඳහන් කළ හැකි අතර දුම්වැටි භාවිතයේ ප්‍රධාන ගැටලුවක් වන්නේ ද්විතීක දුම්වැටි දුමාරය අනෙකාට කරන බලපෑම බවයි. ඒ අනුව දුම්බොන්නන් ත්‍රස්ත්‍රවාදීන් මෙන් අපරාධයක් සිදු කරන බව ඔහු අවධාරනය කලේය. ලෝක ජනගහනයෙන් මිලියන 1.2 ක් වසරකට ද්විතීයික දුම්වැටි දුමාරයට ගොදුරුවන බවද ඒ මහතා සඳහන් කලේය.

පසුගිය වසර කිහිපය තුළ මෙරට දුම්පානය යම් පමණකට අඩුව තිබීම සතුටට කරුණක් වන අතර එය දුම්පානය කරන්නන්ගෙන් 8.8% ක ප්‍රතිශතයක් වන බව සඳහන් කරන ලදී. එළඹෙන 2024 වර්ෂයේ දුම්වැටි නිවාරණ දිනය වන විට මේ ප්‍රතිශතය වර්ධනය කර ගැනීමට සැම එක්ව කටයුතු කිරීම අවශ්‍ය බව සඳහන් කරමින් දුම්වැටි සබැඳි නීතිමය තත්ත්වය පිළිබඳවද පැමිණ සිටින ප්‍රජාව දැනුවත් කරන ලදී.