
ඉංගිරිය පොසොන් කලාපය සමාප්ත කරමින් කළුතර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන වෙත සංවර්ධන ආධාර සහ දහම් පාසල් වෙත ආධාර. පොසොන් කලාප කූඩු තරඟ සහ චිත්‍ර තරඟ වෙනුවෙන් වටිනා තෑගි.
ජූනි 12th, 2023පසුගිය 03 දා ආරම්භ කරනු ලැබූ ඉංගිරිය පොසොන් කලාපය නැරඹීම සඳහා දින 5ක් පුරා මහා ජන ගඟක් ගැලූහ. ඊයේ (07දා) රාත්‍රියෙන් අවසන් කරනු ලැබූ මෙම පොසොන් කලාපය වටිනා අංග රැසකින් සමන්විත වුණි. ඉංගිරිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසකත්වයෙන්, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ඇතුළු සංස්කෘතික, පුරාවිද්‍යා අංශ රැසක දායකත්වයෙන් දින 5ක් පුරා ඉංගිරිය පොසොන් කලාපය පැවැත් වුණි. එසේම ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉංගිරිය පොලිසිය, හොරණ ප්‍රාදේශීය සභාව, රජයේ පාසල් සහ අනෙකුත් රාජ්‍ය ආයතන, එක්සත් වෙළඳ සංගමය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හොරණ සහ වගවත්ත අපනයන කලාපීය ආයෝජකයින්, විවිධ ස්වේච්ඡා සංවිධාන එකමුතුවෙන් මෙහි සියළු සංවිධාන කටයුතු සිදු කරනු ලැබුණි.
සමාප්ත දින උත්සවයේ දී විෂය භාර අමාත්‍යංශය මගින් ග්‍රාමීය විහාරස්ථාන සංවර්ධන වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 17ක් සඳහා සංවර්ධන ආධාර විෂය භාර අමාත්‍යවරයා විසින් නමස්කාර පූර්වකව පිරිනමනු ලැබුණි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, දහම් පාසල් සංවර්ධන වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික් දහම් පාසල් 11ක් සඳහා ද ආධාර ලබා දුනි. පොසොන් කලාපයේ කූඩු තරඟයන් හී විවෘත හා දහම් පාසල් තරඟ වෙනුවෙන් ද ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කෙරුණි. අවසන් දින ටවර් හෝල් රඟහල පදනම විසින් සංවිධානය කරනු ලැබූ ටවර් ප්‍රභාෂ්වර වැඩසටහන ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. පූජා නර්ථනය ඉංගිරිය රංගන කලායතනය විසින් ඉදිරිපත් කරණු ලැබුණි.
පොසොන් කලාපයේ සමාප්ති උත්සවය වෙනුවෙන් ගරුතර මහා සංඝරත්න බොහෝ පිරිසක් වැඩමවා වදාළ අතර විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ ද සහභාගීත්වයෙන් වැඩසටහන පැවැත්වුණි. එසේම දායකත්වය දැක්වූ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රාදේශීය සභා නියෝජිතයින්, ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන, අනෙකුත් ආයතන ප්‍රධානීන්, ප්‍රදේශවාසීන්, පාසල් ගුරුවරුන්, දරුවන් දෙමාපියන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.