ඉදිරියේදී කන්ද උඩරටටත් ටවර්හෝල් නාට්‍ය පාසලක් !

ජූනි 26th, 2023

මහනුවර දිස්ත්‍රික්කයට අයත් හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ විවිධ කලා කටයුතුවල නියැලෙන කලාකරුවන් පිරිසක් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර හමුවක් හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී කලාකරුවන් මේ වන විට මුහුණු දී ඇති ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

මහනුවර කේන්ද්‍ර කර ගනිමින් ටවර්හෝල් නාට්‍ය පාසලක් ස්ථාපිත කිරීම,ගම හා සම්බන්ධ කර ගනිමින් “කලා කව“ ඇති කිරීම ආදී වැඩ සටහන් කිහිපයක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද විදුර වික්‍රමනායක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආගමික කටයුතු) එච්.එන්.කුමාරි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් (වැ.බ) කීර්ති සිරිබද්දන,ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාර, හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් මොහාන් ධර්මදාස යන මහත්ම මහත්මිහු සහ ප්‍රදේශයේ කලාකරුවෝ රැසක් මෙම අවස්ථාවට එක්වුහ.