සුරිඳුනි කතරගම – 2023 සමගාමී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක්

ජූලි 6th, 2023

මෙවරද රුහුණු කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය මගින් සිදුකෙරෙන ක්‍රියාකාරකම් කතරගම පූජා භූමිය හා පූජා නගරය ආශ්‍රිතව 2023 ජුලි 01 දින සිට ජුලි 04 දින දක්වා ක්‍රියාත්මක කෙරිණි. ඒ ජාතික ආගමික උත්සවයන්හි මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම යටතේ, මතින්, දුමින් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් පරිසරයක සිට සිය ආගමික කටයුතු ඉටුකිරීම සඳහා වන බැතිමතුන්ගේ අයිතිය සුරක්ෂිත කිරීම උදෙසායි.

ඒ අනුව, මාධ්‍ය ඔස්සේ සිදුකරන සාකච්ඡා, මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩ සමාජගත කිරීම, වීදි නාට්‍ය රඟ දැක්වීම, වාචික දැනුම්වත් කිරීම් ආදී විවිධ ක්‍රියාකාරකම් මගින් මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩය විශාල ප්‍රජාවක් වෙත සමාජගත කෙරිණ. එමගින් පූජා භූමිය හා පූජා නගරය ආශ්‍රිතව සිදුකෙරෙන මත්ද්‍රව්‍ය සබැඳි දුස්සමාහිත චර්යා පාලනය කිරීමට හැකිවූ අතර මත්ද්‍රව්‍ය, මද්‍යසාර හා දුම්වැටි භාවිතයේ නියම හානිය හා එය සමාජය විෂයෙහි සිදුකරන බලපෑම පිළිබඳව බැතිමතුන් දැනුම්වත් කරන ලදි. මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශනය, ප්‍රතිකාර හා පුනරුත්තාපනය සදහා යොමුගත වූවන් අදාළ මධ්‍යස්ථාන වෙත සම්බන්ධීකරණය හා ඒ පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ කුටිය කඳසුරිදු දේවාල භූමියේ සිට කිරිවෙහෙර දක්වා දිවෙන මාර්ගයේ ස්ථාපිත කරමින් පුනරුත්ථාපන ක්‍රියාවලිය සබැඳි දැනුම්වත් කිරීම්ද සිදුකෙරිණ.