
තත්සර වියපත් වන්නේ නැත ….!
ජූලි 7th, 2023ඉතා මියුරු වූ තත්සර මාදූර්යෙන් හදවත් මුසපත් කළ සේම, සුවපත් කළ ශ්‍රී ලාංකේය සංගීතවේදීන් අතරින් සදා නොමැකෙන මතක ගොන්නක් එක් කළ ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය සෝමසිරි ඉලේසිංහයන්ගේ සුවදුක් විමසීමට අප එතුමන්ගේ බත්තරමුල්ලේ පිහිටි නිවස වෙත ගොඩ වැදුනෙමු.
ලාංකේය කලා අඹර බබළවන්නට පැයූ රන් තරුවක් සේ දකුණු ලකෙන් ජන්මය ලබන එතුමා, වයලීනය තම ආත්මය කොටගෙන සුමිහිරි වූ නාදයෙන් යුත් තත් කම්පනයෙන් අලංකෘත ස්වර දැහැන් මවමින් රසික සිත් ඇඳ බැඳ ගත්තේ, සිය පිය උරුමයෙන් දායද වූ කුසලතාවන් ඉන්දියාවේ ලක්නව්හි භාත්කණ්ඩ විශ්වවිද්‍යාලයෙන් තව තවත් මානවට ඔපමට්ටම් කර ගනිමිනි.ලොව පතළ වයලීන් වාදක පී. චීන් ගෝස්වාමිගේ මඟපෙන්වීම ඔස්සේ ශාස්ත්‍රීය වයලීන් වාදනය ප්‍රගුණ කළ මෙතුමා ආචාර්ය උපාධිය ලබා පැමිණෙන්නේ තමා ලත් ශීල්පීය ඥාණයේ උපරිම ඵල නෙලීමේ අදිටනෙනි.
ගුවන්විදුලියට 60 දශකයේ සම්බන්ධ වී විවිධ වැඩසටහන්වලට නිර්මාණ දායකත්වය ලබා දුන් ඉලේසිංහයන් මනා සංයමයකින් සිය ඇඟිලි තුඩු වයලීනයේ තත් අතර සැරිසරවමින්, උත්තර භාරතීය සංගීතයේ ආභාසයේ ගුරු කොට ශ්‍රව්‍ය මාධ්‍ය හරහා ශ්‍රාවක දෙසවන් පින වූ මෙම සොඳුරු සංගීතවේදීයා පසුව ජාතික රූපවාහිනියේ සංගීත ඒකකයේ මුල් පුරුක බවට පත්වන්නේ ය.
වයලීන් වාදනයෙන් පෑ දස්කම් ඉක්මවා යමින් රූප මාධ්‍යය ඔස්සේ ආකර්ෂණීය නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කරමින්, ජාතික නාලිකාවේ සංගීත ඒකකය මනාව සංවිධානය කරමින් තරුණ දක්ෂ, නිෂ්පාදකයින් රැසකගේ මාර්ගෝපදේශකයා වූයේ ද අන්කවරෙකුවත් නොව ආචාර්ය සෝමසිරි ඉලේසිංහයන් ය.
වේදිකාව, ගුවන්විදුලිය සහ රූපවාහිනිය යන මේ ත්‍රිත්වයම වයලීන් වාදනයෙන් හා නිර්මාණ දායකත්වයෙන් පෝෂණය කළ මොහු, ජාතික නාලිකාවේ ප්රවෘත්ති තේමාව හා සැළලිහිණි ගීතයේ අරුත තිව්ර වන ආකාරයට මියුරු ළයාන්විත නාද රටා නිර්මාණය කරමින් සිය ප්‍රතිභාව ප්‍රකට කළේය.
සංගීත ක්ෂේත්රයේ නිම්වළලු පුළුල් කරමින් සිය විෂයය ක්ෂේත්රයට අමරණීය වූ සේවාවක් ඉටු කළ මේ විශිෂ්ටයා අසනීප තත්ත්වයන් හේතුවෙන් ස්වකීය නිර්මාණ කලාවට කෙටි ඉසිඹුුවක් දී තිබුණත්, අදත් ඔහුගේ වයලීනයේ තත්සර එදා මෙන්ම ජවයෙන් කම්පනය වන්නේ රසික සිත් මොහනයට පත්කරමිනි.
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය සෝමසිරි ඉලේසිංහ මහතානෙණි අප ඔබට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නෙමු !