
අනාගත පරපුරට දැක ගන්න ‘පසම් හා ලතෝනි ගායනා’ සංරක්ෂණය කරයි…
පෙබරවාරි 23rd, 2024පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගායනා ශෛලිය සංරක්ෂණය කර අනාගත පරපුර වෙත පවරා දීමේ වැඩසටහනේ තෙවන අදියර ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ පසම් සංරක්ෂණ කමිටුව විසින් මග්ගොන උස්වැල්ල ප්‍රදේශයේ දී අද (23) සිදු කෙරිණි.
පසම් සංරක්ෂණ කමිටුවේ අනුශාසක ලාල් පුශ්පදේව ප්‍රනාන්දු පියතුමාගේ අධ්‍යක්ෂණය යටතේ මෙම කාර්‍ය සිදු කළ අතර කළුතර ප්‍රදේශය ආශ්‍රිතව ශේෂ වී ඇති පසම් 60ක ගායනා රූගත කිරීම මෙහිදී සිදු කෙරිණි.
මේ සඳහා කළුතර ප්‍රදේශයේ කලමුල්ල, කටුකුරුන්ද , මග්ගොන, මුංහේන, මහා පායාගල, කුඩා පයාගල, දියලගොඩ, වාද්දුව, හා ගාල්ල නියෝජනය කරමින් පසම් ගායනා කණ්ඩායම් 9ක් සහභාගී වූහ.
වර්තමාන සමාජයෙන් කෙමෙන් වියැකී යන ශ්‍රී ලංකාවේ පමණක් ශේෂ වී පවතින පසම් හා ලතෝනි කිතුනු ගායනා විශේෂය සංරක්ෂණය කොට ඉදිරි පරපුරට දායාද කිරීමේ අරමුණින් මෙය සංවිධානය කෙරිණි.
කතෝලික පුජකවරු, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක , ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ චතුරි පින්තු, දෙපාර්තමේන්තු නිලධාරීන් , පසම් සංරක්ෂණ කමිටු සාමාජිකයන් ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.