
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවය
ජූනි 30th, 2025ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවය ජනපති සහභාගීත්වයෙන් අද දින (30) පස්වරුවේ ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැතිවිණි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ “සසුන” උපසම්පදා කලාපය, “පටිපදා” ශාස්ත්‍රීය සංග්‍රහය සහ “උරුමයක අභිමානය” නම් ග්‍රන්ථය ද දෙස්, විදෙස් වශයෙන් උදාර ආගමික හා ශාසනික සේවාවක නිරත ශ්‍රී ලංකා රාමඤ්ඥ මහා නිකායේ ස්වාමීන් වහන්සේලා වෙත ගෞරව නාම ප්රදානය සහ විජිනිපත් පිළිගැන්වීම ද මෙහිදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් සිදු කරන ලදී.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහාපණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නාහිමිපාණන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක අග්ගමහාපණ්ඩිත මහාචාර්ය පූජ්‍ය අත්තංගනේ රතනපාල නාහිමිපාණන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසනරතන නාහිමිපාණන්, නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි පූජ්‍ය හාල්පන්විල පාලිත නාහිමිපාණන්, උපසම්පදා පුණ්‍ය මහෝත්සව කමිටුවේ ප්‍රධාන සංවිධායක උතුරු මැද පළාත් නායක පූජ්‍ය ඇලප්පන්කුලමේ වංශානන්ද නාහිමිපාණන්, හන්තාන සඳගිරි සෑ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක නාහිමිපාණන්, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නාහිමිපාණන් ප්රමුඛ නායක ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් එක්ව සිටි අතර, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මැතිතුමා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූකාර සංවර්ධන අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මැතිතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමා, නුරාධපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුසන්ත කුමාර නවරත්න මැතිතුමා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ජිනදාස විමලසිරි යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.ආර්. විමලසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහුද, තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු දෙස්-විදෙස් ආරාධිතයෝ පිරිසක් ද, දායක සභාවේ සාමාජිකයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.