අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජකවරයේ ස්වර්ණ ජයන්ති උපහාර උළෙල

ජූලි 8th, 2025

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජකවරයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් පැවැති උපහාර උළෙල අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 07 වන දින කොළඹ අගරදගුරු මැදුරු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. උන්වහන්සේ විසින් සිදුකරන ලද මෙහෙවර අගයමින් උන්වහන්සේට නිදුක් නිරෝගී, චිර ජීවනය ප්‍රාර්ථනා කිරීම උදෙසා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු වැඩබලන අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක මැතිතුමා ද එක්විය.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් එළිදැක්වුණු සමරු මුද්දරය සහ මුල්දින කවරයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය, සර්වාගමික පූජකවරුන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා, වතිකාන අපෝස්තලික මෙහෙයුම් ප්‍රධානී මොන්සිග්නෝර් රොබර්ටෝ ලුකිනි, කොළඹ සහායක රදගුරු මැක්ස්වෙල් සිල්වා, කොළඹ සහායක රදගුරු ඇන්තනී ජයකොඩි යන රදගුරුතුමන් ඇතුළු කතෝලික පියතුමන්ලා, අග්‍රාමාත්‍ය ආචාර්ය ගරු හරිනි අමරසූරිය මැතිනිය, විපක්ෂ නායක, මැතිඇමතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, තානාපතිවරුන් ඇතුළු ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.