ශාක්‍යමුනි සර්වඥ ධාතු වන්දනා

පෙබරවාරි 6th, 2026

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ “දෙව්නි මෝරී” පුදබිමෙන් වැඩමකරවන ලද සර්වඥ ධාතු වන්දනාව කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේදී පෙබරවාරි 05 අලුයම 6.00 සිට 11 දින පෙරවරු 7.00 දක්වා පැවැත්වේ..

මෙම සර්වඥ ධාතුන් වහන්සේ පැය 24 පුරාම සියැසින් දැක වැඳපුදා ගැනීමට සැදැහැවත් ජනතාවට අවස්ථාව හිමිවනු ඇත.

සර්වඥ ධාතු වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවත් ජනතාවට අවශ්‍ය පානීය ජලය, වැසිකිළි පහසුකම් සහ ආරක්ෂාව ආදී සියළු අත්‍යාවශ්‍ය පහසුකම් සලසා ඇත.

දෙව්නි මෝරී ධාතු කරඬුව

  • ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අරවල්ලි දිස්ත්‍රික්කයේ දෙව්නි මෝරී නම් ස්ථානයේ 1959-63 බෞද්ධ ආරාම සංකීර්ණයක් ආශ්‍රිතව ස්ථූපයක් කැණීමෙන් මෙම ධාතු ‍ සොයාගන්නා ලදී.
  • මෙහිදී ධාතු කරඩු දෙකක් හමුවූ අතර, කොළ පැහැති සිස්ට් (schist) ගලින් නිමවන ලද කරඩුවක තිබී මෙම සර්වඥ ධාතූන් වහන්සේලා හමුවී ඇත.
  • මෙම කරඩුව තුළ තඹ මංජුසාවක් තිබූ අතර එහි සිල්ක් රෙදි කැබැල්ලක්, රන් රිදී බෝතලයක් සහ ශුද්ධ අළු කොටස් අඩංගු විය. මේවා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා වේ.
  • ධාතු කරඩුවේ පිටත පේළි තුනකින් යුත් ශිලාලේඛනයක් දක්නට ලැබේ. එය ලියා ඇත්තේ පශ්චාත් බ්‍රාහ්මී අක්ෂරවලින් වන අතර භාෂාව සංස්කෘත වේ. මෙහි සඳහන් වන “දශබල ශරීර නිලෙයි” යන්නෙන් අදහස් වන්නේ දශ බලයෙන් යුතු භාග්‍යවතුන්ව වහන්සේගේ ශාරීරික ධාතු යන්නයි. එම වැකිය මෙම ධාතුන් වහන්සේගේ පූජනීයත්වය තහවුරු කරන ප්‍රබලතම සාක්ෂිය වේ.