“උරුමයට ජීවයක්” තේමාව යටතේ දහසක් පුරා විද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමේ ජාතික වැඩපිළිවෙල
ජූලි 12th, 2026“උරුමයට ජීවයක්” තේමාව යටතේ දහසක් පුරා විද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමේ ජාතික වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත් කිරීම 11 වෙනි දින අම්පාරෙන් ආරම්භ විය. එදා දිගාමඩුල්ල රජ දවසේ ඓතිහාසික පුදබිම් අතරේ බැතිමතුන්ගේ අවධානයට ලක්වී ඇති පුදබිම ලෙස දීඝවාපිය සංකේතවත් විය. දීඝවාපි පුදබිම සිට අම්පාර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ අම්පාරේ සිට කිලෝමීටර් පහළොවක් දුර ඇති උහණ ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික රජගල පුරාණ අරියාගල විහාරස්ථානයේ පුරාවිද්‍යා නව කාර්යාලයක් ආරම්භ කරමින් උරුමයට ජීවයක් ජාතික වැඩසටහන සංකේතවත් කලේ එම ජාතික වැඩසටහනේ නිර්මාතෘවරයා වන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයනි. මෙම අවස්ථාවට අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන්, අම්පාර දිසාපති, පුරාවිද්‍යා සහකාර කොමසාරිස්, ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම, පාසල් කීපයක ආචාර්ය මහත්ම මහත්මීන් මෙන්ම පාසල් දරුවන්ද සහභාගි විය.
මිහිඳු මහ රහතන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති ඓතිහාසික පුදබිම දෙස් විදෙස් බැතිමතුන්ගේ දැඩි අවධානයට ලක් කිරීමේ අවශ්‍යතාවය සනිටුහන් කරමින් ප්‍රථමයෙන්ම මෙම පුරාවිද්‍යා කාර්යාලය ගරු නියෝජ්‍යතුමාගේ දෑතින් විවෘත විය. අනාගතයේදී දෙස් විදෙස් බැතිමතුන්ගේ සියලු පහසුකම් සහිත මෙම අලංකාර පුදබිම සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ඓතිහාසික රජගල පුරාණ විහාරයේ ඓතිහාසික පුරාවිද්‍යා සංකේත 89 ක් දක්නට ලැබෙන අතර රහතන් වහන්සේලා වැඩවසමින් ධර්ම කටයුතු සිදුකළ පුරාවස්තූන් කීපයක්ම මෙම රජගල පුරාණ විහාරයේ තැන්පත් වී ඇත.ඒ අතරින් විශේෂත්වයක් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති ස්ථානයයි.
මෙම අවස්ථාවෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු කණ්ඩායම නිරීක්ෂණය කළේ රජගල පුරාණ විහාරස්ථානයේ සිට කිලෝ මීටර් පහක් පමණ අම්පාර දෙසින් පිහිටා ඇති ඓතිහාසික සමංගල රාජරාජ පූජිත මහා ආරණ්‍යයයි. මහරජ පණ්ඩුකාභය පුත් වු මහරජ මුටසීව ගේ පුත් උප රජ මහානාග පුත්වු, රජ ගෝඨාභය පුත්වු, රජ කාවන්තිස්ස පුත් වූ, රජ සද්ධාතිස්ස රජ පරපුරේ සම්පූර්ණ අනුග්‍රහත්වයෙන් පවත්වාගෙන එනු ලබන ක්‍රි. පූ.5 සියවසේ ආරම්භ කරන ලද ලංකාදීපයේ ප්‍රථම සාංඝික ආරාමය ලෙස මෙම ඓතිහාසික ආරණ්‍ය සඳහන් වී ඇත. මෙය භාරව කටයුතු කරන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා විසි දෙනෙක් පමණ මෙහි වැඩ සිටින අතර මෙම ඓතිහාසික ස්ථානයේ ඉන්දියාවේ සාංචි හි මහා ස්ථූපයට සමාන වෙන ස්ථූපයක් පිහිටා තිබීම බැතිමතුන්ගේ අවධානයට ලක්වී ඇත. මෙම ස්ථානයත් නුදුරේදීම දෙස් විදෙස් බැතිමතුන්ගේ අවධානයට ලක්වන ස්ථානයක් බවට පත්කිරීමේ අවශ්‍යතාවයන් සපුරාලන බව නියෝජ්‍ය අමාත්‍යය ගමගෙදර දිසානායක මැතිතුමා එහිදී සඳහන් කළහ.
මෙම අවස්ථාවෙන් පසුව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා දීඝවාපී පුදබිමට පැමිණ එහි නිරීක්ෂණ චාරිකාවකද යෙදී නායක ස්වාමීන් වහන්සේද බැහැදැක පිලිසදරක ද නිරත විය.


බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
