බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ආධාර මුදලක් ඉන්දිය රජය පිරිනමයි.

නොවැම්බර් 8th, 2022

 

ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Baglay) මැතිතුමන් සහ විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (1) දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවති රැස්වීමේ දී මෙම ආධාර මුදල් යොදවනු ලබන ව්‍යාපෘති සහ එහි අන්තර්ගතයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබුණි. අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ රාමුවක් තුළ එම ව්‍යාපෘති කඩිනමින් ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් ඉන්දිය මහ කොමසාරිස්තුමන් සිය මූලික කතාවේ දී අවධානය යොමු කළේය.

ශ්‍රී ලංකාව පුරා පිහිටි විහාරස්ථාන, පිරිවෙන් සහ අනෙකුත් ආගමික ස්ථානයන් හී සූර්ය බලශක්ති පහසුකම් සැපයීමත් ඉතිරි කොටස අනෙකුත් ක්ෂේත්‍රයන් හී හදුනාගත් ව්‍යාපෘති වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහාත්, ධාතූන්වහන්සේලා වන්දනාමාන කිරීම සඳහා ප්‍රදර්ශන වැඩසටහන් පැවැත්වීම සම්බන්ධයෙනුත්, යෝජනා කෙරුණි. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශය මඟින් මේ පිළිබඳ සැලසුම් ඉදිරිපත්කරනු ලැබුණි. මේ සම්බන්ධයෙන් ඉන්දිය මහ කොමසාරිස්තුමන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව පල කළ අතර, ITEC (Indian Technical and Economic Cooperation) වැනි දැනටමත් පවතින ද්විපාර්ශ්වික රාමුක් යටතේ වෙනත් ක්ෂේත්‍රවල යෝජනා සලකා බැලිය හැකි බව සඳහන් කළේය.

පූජනීය ස්ථානවල සූර්ය බලශක්ති පහසුකම් සැපයීම, ප්‍රමුඛත්වය මත 2023 වසරේ දී ධාතු ප්‍රදර්ශන පැවැත්වීම, ප්‍රධානය කෙරෙන සූර්ය පැනල වර්ගය සහ පරිමාණය සම්බන්ධ සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත්කිරීම, ස්ථාපනය කෙරෙන ආගමික ස්ථාන පිළිබඳවත් අමාත්‍යංශය මඟින් වාර්තාවක් සකස් කිරීම, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් පොදු රාමුවකට අනුකූලව සූර්ය බල ශක්ති ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුමක් කෙටුම්පත් කිරීම, අමාත්‍යංශය මඟින් භික්ෂූන් වහන්සේලා සඳහා අවශ්‍ය පාඨමාලා හඳුනා ගෙන ඉදිරිපත් කිරීම යන කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර එකඟතාව පල වුණි.

තවද, අභිනවයෙන් ඉදිකර අවසන් වී තිබෙන යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය පිළිබඳව ද දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වුණි. මේ වන විට යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය සඳහා පරිපාලන නිළධාරීන් පත්කර අවසන්ය. ඔවුන් සමඟ සාකච්ඡා කර යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමට දින නියම කරගැනීම සම්බන්ධයෙන් සහ පරිපාලනය පවත්වාගෙන යෑමේ කටයුතු සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් Gopal Baglay මැතිතුමන්, එහි පළමු ලේකම් (සංවර්ධන සහයෝගීතා) Eldos Mathew Punnoose සහ Virender Singh යන මහත්වරුන් ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් ද, අවස්ථා දෙකක දී පැවති සාකච්ඡා සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින්, ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, අතිරේක ලේකම් (සංස්කෘතික ප්‍රවර්ධන හා ඉදිකාරීම්) තිලක් හෙට්ටිආරච්චි මහතා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා, බුද්ධශාසන කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා, අධ්‍යක්ෂ (සංස්කෘතික ප්‍රවර්ධන) ප්‍රසාද් රණසිංහ මහතා, අධ්‍යක්ෂ(සැලසුම්) නිශාන්ත කුමාර මහතා යන අයද විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද මෙම අවස්ථාවට සහභාගී වුණි.