ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝක නිවුන් දින උළෙල පවත්වන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නිවුන් සංවිධානය සමඟ සාකච්ඡාවක් පැවැත්වුණි

නොවැම්බර් 17th, 2022

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝක නිවුන් දින උළෙල පවත්වන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නිවුන් සංවිධානය සමඟ සාකච්ඡාවක් පැවැත්වුණි.

විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වාගැනීම සහ අපේ රටේ සංස්කෘතික හා සාමාජීය බැඳීම් වැඩිදියුණු කරගැනීමේ මූලික පරමාර්ථය ඇතිව වසරක් පාසා ලෝක නිවුන් දින උළෙල සංවිධානය වේ.

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝක නිවුන් දින උළෙල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිවුන් සංවිධානය සමඟ සාකච්ඡාවක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී පැවැත්වුණි. මේ සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන විදේශිකයන් සංඛ්‍යාව 4000 ක් පමණ වන බව ශ්‍රී ලංකා නිවුන් සංවිධානය සඳහන් කරන ලදි. සතියක් පමණ පැවැත්වෙන මෙම උළෙලෙහි දී ලෝක නිවුන් සංස්කෘතික උළෙල, ලෝක නිවුන් රූප රාජිණී තරඟාවලිය, ලෝක නිවුන් මහා සම්මේලනය, ලෝක නිවුන් ව්‍යාපාරික සමුළුව, සංගීත ප්‍රසංගය සහ පැමිණෙන සංචාරකයන් සඳහා අපේ රටේ විශේෂ ස්ථාන නැරඹීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදී වැඩසටහන් රාශියක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳවත් මේ වෙනුවෙන් අමාත්‍යංශයේ දායකත්වය ලබා දිය හැකි අවස්ථාවන් පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ / සභාපතිනි උපුලි ගමගේ ඇතුළු එම සංවිධානයේ නිළධාරීන් කණ්ඩායමක් මේ සඳහා සහභාගී වුණි. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු එහි නිලධාරීන්, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියහ. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණි.