
ජාතික තෛයිපොංගල් උත්සවය තළවකැලය, ශ්‍රී කදිරේසන් කෝවිලේ දී
ජනවාරි 16th, 2023හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරුණු ජාතික තෛයිපොංගල් උත්සවය තළවකැලය, ශ්‍රී කදිරේසන් කෝවිලේ දී (15දා) උත්කර්ශවත් ලෙස පැවැත්විණී.
මෙම උත්සවය සඳහා සහභාගී වූ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් තම අදහස් පළ කරමින්, සූර්යා ඇතුළු සොබාදහම් මාතාවට කෘතගුණ සැලකීම තෛයිපොංගල් උත්සවයෙන් අරමුණු කරගන්නා සේම, අපෙන් ක්‍රමක්‍රමයෙන් ගිලිහෙමින් යන ආචාරධර්ම, සංස්කෘතික වත් පිළිවෙත්, එකිනෙකාට ගෞරව කිරීම ආදී බොහෝ දේ නැවත තම හදවතේ ඇති කරගෙන සියළු දෙනාට සියළු දෙනා විසින්ම කෘතගුණ දක්වමින්, ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස එකට එකතුවී වැඩකර රටේ අභිවෘධිය වෙනුවෙන් ක්‍රියා කරන ලෙස සියළු දෙනාගෙන් ඉල්ලා සිටියහ. අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි, දමිළ ජනතාවට ආගමික හා සංස්කෘතික වශයෙන් පමණක් නොව සමාජීය වශයෙන්ද ඉතා වැදගත් උත්සවයක් වන තෛයිපොංගල් උත්සවය චාරිත්රාණුකූලනව සහ ආගමාණුකූලව ප්‍රධාන වශයෙන්ම හින්දු දහම් පාසල් දරුදැරියන් සහභාගී කර ගනිමින් පැවැත්වීම විශේෂත්වයක් වේ.
ළමුන්ගේ සංස්කෘතික නර්තනාංගයන් ගායනයන් ඉදිරිපත් කිරීම් තුළින් එම උත්සවය තවත් අලංකාරවත් විය. අවසානයේ එම දරුවන් සඳහා ත්‍යාග වශයෙන් පොත් ප්රදානය කිරීමේ වැඩසටහනක් ද හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාව සඳහා කදිරේසන් කොවිලෙහි ප්‍රධාන පූජකතුමන් ඇතුළු ප්‍රදේශවාසී පූජකතුමන්ලා, අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමිය, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු අධ්යක්ෂතුමන් ඇතුළු ප්‍රධානීන්, ශ්‍රී කදිරේසන් කෝවිලේ සංවිධායක කමිටු නිලධාරීන්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හින්දු දහම් පාසල් ගුරුවරුන්, දරු දැරියන්, දෙමාපියන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.