“සිරිසඟබෝ රජු හිස දන් දුන් අත්තනගල්ල” ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය දොරට වැඩීමේ මහෝත්සවය…

ජනවාරි 31st, 2023

“සිරිසඟබෝ රජු හිස දන් දුන් අත්තනගල්ල” ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය දොරට වැඩීමේ මහෝත්සවය පසු ගිය(26) දා අත්තනගල්ල රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්වුණි.

සිරිසඟබෝ රජු හිස දන් දුන් සැබෑ අත්තනගල්ල කුමක්දැයි සනාථ කරනු වස් ගිහි, පැවිදි විද්වත් මහාචාර්යවරුන් ගේ මණ්ඩලයක් විසින් අත්තනගල්ල රාජ මහා විහාරයේ ඓතිහාසිකත්වය හා පෞරාණිකත්වය නිසි පරිදි අපක්ෂපාතීව තහවුරු කරමින් මෙම ග්‍රන්ථය රචනා කොට තිිබුණි. මෙම උදාරතර මෙහෙවර ඉටුකරමින්, අත්තනගල්ල රාජ මහා විහාරස්ථානයේ ඓතිහාසික අනන්‍යතාවය සාක්ෂාත් කරමින්, අත්තනගල්ල රාජ මහා විහාරාධිපති, ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ, මෙම ග්‍රන්ථය මුද්‍රණය සඳහා සම්පූර්ණ මුදල් දායකත්වය ලබා දෙන ලදී.

ග්‍රන්ථය දොරට වැඩීමේ මහෝත්සවය, මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක, ආචාර්ය පුජ්‍ය අතිගරු නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනායක නාහිමිපාණන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුහ.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක කුරුණෑගල ඇත්කඳ රාජ මහා විහාරයේ විහාරාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නාහිමිපාණන් වහන්සේ, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති, අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමිපාණන් වහන්සේ, අත්තනගල්ල රාජ මහා විහාරාධිපති,සීනාදි සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක උපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ, අතිපූජ්‍ය මල්වානේ ශ්‍රී පුන්‍යසාරාභිධාන කල්‍යාණි සාමග්‍රි ධර්ම සභාවේ මහානායක හිමිපාණන් වහන්සේ, අමරපුර මහා නිකායේ හිටපු සභාපති මහෝපාධ්‍යාය අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී හිමිපාණන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සංඝ සභාවේ මහානායක අතිගරු ඉත්තෑපාණේ ධම්මාලංකාරාභිධාන නාහිමිපාණන්වහන්සේ , මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක නාහිමිපාණන් වහන්සේ, මහාචාර්ය අග්ගමහාපණ්ඩිත කඹුරුගමුවේ වජිර නාහිමිපාණන්වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක බළමණ්ඩලයේ ගරු සභාපති ශ්‍රි භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති මහාචාර්ය තුඹුල්ලේ සීලඛන්ධ නාහිමිපාණන් වහන්සේ , අතිපූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමිපාණන් වහන්සේ, විද්‍යාලංකාර පරිවේණාධිපති පූජ්‍ය වැලමිටියාවේ ඥාණරථනාභිධාන නාහිමිපාණන්වහන්සේ, අති පූජනීය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමිපාණන්වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය මෙම අවස්ථාව සඳහා වැඩමකොට වදාළ සේක.

බෞද්ධ ඉතිහාසය නිරූපනය කෙරෙන සංස්කෘතික අංග ඉදිරිපත් කිරීම් තුළින් ද මෙම අවස්ථාව අර්ථවත් විිය

හිටපු ජනාධිපතිනි ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, අධ්‍යාපන අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමන් ඇතුළු මැති ඇමතිවරුන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු කතානායක ගරු කරු ජයසූරිය මැතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන්, ආචාර්ය මහාචාර්ය විද්වතුන් රැසක් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ප්‍රදේශවාසී දායක පිංවතුන් බොහෝ පිරිසක් ද මෙම ග්‍රන්ථය දොරට වැඩීමේ මහෝත්සවය වෙනුවෙන් සහභාගී වීය. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.