අභිනව අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ උත්සවය…..

ජනවාරි 31st, 2023

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම (28 පස්වරුවේ) ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැත්වුහ.

අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අතින් සිදු වූ අතර විජිණිපත ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් විසින් පිළිගනවන ලදී. ඉන් අනතුරුව නාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රථම පරිස්කාර පූජාව අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා විසින් සිදුකරනු ලදී.

ත්‍රෛනිකායික මහා නායක සහ අනුනායක හිමිවරුන් ද, අටමස්ථානය නියෝජනය කරන සියලු විහාරාධිකාරී හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද , ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්, ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන්, හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහ මැති ඇමතිවරු ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද තානාපතිවරු, රාජ්‍ය නිලධාරිහු, ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද මෙම අවස්ථාවට සහභාගී විය.