ඓතිහාසික රැස්වෙහෙර රාජ මහා විහාරය, පූජා භූමියක් වශයෙන් ලියාපදිංචි කිරීමට පියවර

පෙබරවාරි 24th, 2023

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටු වැව, පෝතානේගම පිහිටා ඇති අඩි 40 පමණ උස් වූ දැකුම්කළු ශෛලමය හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩසිටින රැස් වෙහෙර අපේ රටේ ඓතිහාසික උරුමයන් බොහෝමයක් දැක ගත හැකි පූජා භූමියකි. පැරණි ලෙන්, දුර්ලභ සඳකඩ පහණ, බෝධිය හා බෝධි ප්‍රාකාරය, ලෙන් විහාර සහ මූර්ති ශිල්පය තුළින් ඉමහත් ඓතිහාසික වැදගත් කමක් රැස්වෙහෙරට හිමිව තිබේ.

රැස්වෙහෙර පූජා භූමියක් වශයෙන් මේ වන විට ලියාපදිංචි කර නොමැති නිසා, පූජා භූමියක් වශයෙන් ලියාපදිංචි කිරීම සහ තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන්, රැස්වෙහෙර රාජ මහා විහාරාධිපති පූජ්‍ය කනංකුට්ටියේ රාහුල නාහිමිපාණන් වහන්සේ සහ රැස්වෙහෙර ආරණ්‍ය සේනාසනවාසී කටුගස්තොට ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේ සමඟ පසුගිය (22) දා සාකච්ඡාවක් පවත්වනු ලැබීය. එහිදී, උන්වහන්සේලාගේ ඉල්ලීමට අනුව ඉදිරියේ දී ඒ සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් පියවර ගැනීමට එකඟතාව පළ වූ අතර ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛණ සකස් කර දෙනමෙන් ඉල්ලා සිටියහ. මෙමගින් ඓතිහාසික රැස්වෙහෙර රාජ මහා විහාරය සඳහා ප්‍රතිලාභ රැසක් හිමි වේ.

මෙහි දී රැස්වෙහෙර රාජ මහා විහාරයේ පිරිවෙනක් ආරම්භ කිරීමට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණි. මෙම අවස්ථාව සඳහා පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ගරු විජිත බේරුගොඩ මැතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු යදාමිණී ගුණවර්ධන මැතිතුමන්, විහාරස්ථ දායක සභාවේ නිළධාරීන් වන එම්.කේ.සෝමපාල මහතා, සුසාර ලොකුවිතාන මහතා ඇතුළු පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.