බෝම්බ ගැසුවායයි වසර 14 ක් බන්ධනාගාර ගතකර සිටි සිවලිංගම් අරූරන් නිදහස් වී ඊයේ (18) අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා හමු විය…

මැයි 19th, 2023

සිවලිංගම් අරූරන් බන්ධනාගාර ගත වූයේ 2006 වසරේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් ධූරය හෙබවූ සමයේදී පිත්තල හන්දියේදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ සැක කරුවෙක් ලෙසයි. අත් අඩංගුවට පත්වන විට අරූරන් 29 හැවිරිදි වියේ පසු වුණා. 2004 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් අරූරන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියා. ජිවිතයේ හොඳම කාලයේ වසර 14 ක් රැඳවුම් නියෝග මත බන්ධනාගාර ගතව සිටි ඔහු නොබෝ දා නිදහස ලබන විට වයස අවුරුදු 43 ක්.

අරූරන් සිරගතකළද ඔහුගේ සිතුවිළි සිරගත කරන්නට කිසිවෙකුටත් හැකිවුණේ නැහැ. බන්ධනාගාරගතව සිටි කාලයේ ඔහු ලේඛකයෙක් ලෙස සිය කුසලතාව දියුණු කරගත්තා. එම කාලයේ දෙමළ භාෂාවෙන් කෘති 07 ක්ද ඉංග්‍රීසි භාෂා කෘතියක් ද රචනා කරන්නට ඔහු සමත් වුණා. 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම දෙමළ නවකතාව ලෙස සම්මානයට පත්වූයේ ඔහු විසින් රචිත ‘ආදුරසාලයි’ නව කථාවයි. ඊට අමතරව 2016 දී හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර ගත්තේද ඔහුයි.

විශිෂ්ඨ දක්ෂතා බොහෝමයකින් පරිපූර්ණ වූ අරූරන් නිදහස් වීමෙන් අනතුරුව සංස්කෘතික අමාත්‍යංශයට පැමිණ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා හමු වුණා. ඔහු නිදහස් කරගැනීම සඳහා අමාත්‍යතුමා ජනාධිපති සමාව ඉල්ලා පසුගිය කාල වකවානුවේ දී ජනාධිපතිතුමාට පවා ලිපි යොමු කර තිබුණා. එසේ ම විවිධ අවස්ථාවන් වලදී සංස්කෘතික දෙපාර්තමේන්තුව පවා අරූරන් නිදහස් කර ගැනීමට අදාල රාජ්‍ය අංශ වෙත ලිපි යොමු කරමින් උත්සාහ දරණු ලැබුවා.

විශිෂ්ඨ ඝණයේ කලාකරුවෙකු වන සිවලිංගම් අරූරන් මහතා නිදහස් වීම අපේ රටේ කලා ක්ෂේත්‍රය ලැබූ ජයග්‍රහණයක්. එසේම අනාගතයේ දී අපේ රටේ සාහිත්‍ය ග්‍රන්ථ, නවකතා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මහඟු මෙහෙවරක් කරන්නට ලැබේවා යයි අපි සිවලිංගම් අරූරන් නම් වූ විශිෂ්ට කලාවේදියා හට ඉතසිතින් සුභ පතමු.