
ගලේවෙල වාසලකෝට්ටේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ වාර්ෂික මහා මංගල්‍යය අති උත්කර්ෂව…
ජූනි 18th, 2023ගලේවෙල වාසලකෝට්ටේ ඓතිහාසික සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ වාර්ෂික මහා මංගල්‍යය සහ මංගල මහා ගායන දිව්‍ය පූජාව අද (18) සිද්ධස්ථාන පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මහනුවර පදවි රදගුරු තැන්පත් අති උතුම් දේවධර්මාචාර්යය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් හා සිල්වෙස්ත්‍රෝ බෙනදිකානු නිකායේ ගරු ශමේන්ද්‍ර ජයවර්ධන පියතුමා , සිද්ධස්ථාන පාලක ගරු සුසෙයිනාදන් පියතුමා ඇතුළු මහනුවර පදවියේ පියතුමන්ලා රැසකගේ සහ බැතිමතුන් මහ පිරිසකගේ සහභාගීත්වයෙන් මංගල්‍යය සහ දිව්‍ය පූජාව සිදු කෙරිණි.
වාසලකෝට්ටේ ඓතිහාසික ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය ඉතා විශේෂ වූ දේව මංගල්‍යයකි.විවිධ සංස්කෘතිකාංග රැසකින් සුපෝෂණය වූ මෙම පෙරහරේ ශ්‍රී ලංකාවේ අන් කිසිදු කතෝලික දේවස්ථානයක දක්නට නොලැබෙන ආකාරයේ හේවිසි වාදන අංගයක් ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර සඳහා ඇතුළත් වී ඇති අතර එය විජය රාජසිංහ රජතුමා විසින් විශේෂ අවසරයක් මත ලබා දී ඇතැයි කියැවේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථානවල දක්නට නොලැබෙන ආකාරයේ සීනු කුලුණක් මෙම සිද්ධස්ථානය තුළ දක්නට ලැබෙන අතර එය සිවුදෙනකු විසින් නාද කළ යුතු “සීනු හතරක්“ සහිත සීනු කුලුණකි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා,ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ චතුරි පිංතු මහත්මිය හා මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය ද ප්‍රධාන ආරාධිතයින් ලෙස මෙම අවස්ථාවට එක්වූ අතර, ඔවුහු මින් පෙරද මෙම සිද්ධස්ථානය වෙත පැමිණ මංගල්‍යයේ කටයුතු සිදුවන ආකාර හා ඊට අවශ්‍ය වැඩ පිළිවෙල පිළිබඳව සොයා බැලීමක් ද සිදු කළහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුහ.