පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් බවට හා ක්‍රිස්තියානි දහම් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට පියවර…

මාර්තු 22nd, 2024

පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් බවට පත්කිරීමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කිතුණු ගායනා ශෛලියන් වන පසම් සහ ලතෝනි ගායනා 60ක් ඇතුළත් ග්‍රන්ථයක් එළිදැක්වීම හා ඒවා අන්තර්ජාලය වෙත මුදා හැරීමේ
මග්ගොන කල්වාරිය සිද්ධස්ථානයේ අද (22) පැවති උත්සවයකට එක්වෙමිනි.

එසේම පසම් හා ලතෝනි ගායනා ක්‍රිස්තියානි දහම් පාසල් විෂයය නිර්දේශයට එකතු කර ඉදිරි පරම්පරාව වෙත පවරාදීමට ද කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පසම් සංරක්ෂණ කමිටුවේ අනුශාසක ලාල් පුශ්පදේව ප්‍රනාන්දු පියතුමාගේ අධීක්ෂණය යටතේ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පසම් සහ ලතෝනි ගායනා සංරක්ෂණ කටයුතු සිදුකෙරිණි.

පසම් සහ ලතෝනි ගායනා කිරීම සඳහා කලමුල්ල, කටුකුරුන්ද , මග්ගොන, මුංහේන, මහා පායාගල, කුඩා පයාගල, දියලගොඩ, වාද්දුව, හා ගාල්ල නියෝජනය කරමින් කණ්ඩායම් 9ක් සහභාගීවිණි.

අති උතුම් දේවධර්මාචාර්ය ජූඩ් නිශාන්ත රදගුරු හිමිපාණන් සහ කතෝලික පුජකවරු, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ චතුරි පින්තු, දෙපාර්තමේන්තු නිලධාරීන් , පසම් සංරක්ෂණ කමිටු සාමාජිකයන් , පසම් හා ලතෝනි ගායනා කණ්ඩායම් ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ