
සීතාවක කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින්…
ජූනි 14th, 2024සීතාවක කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (14) අවිස්සාවේල්ල එම පරිශ්‍රය වෙත ගියේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ මූලිකත්වයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්ෂණය යටතේ මෙම සීතාවක කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු නාවික හමුදාව මඟින් සිදු කරයි.
කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු ජුනි මස 25 වන දිනට පෙර අවසන් කරන ලෙසත්, ඉදිකිරීම් කටයුතුවල දී මතුවන ගැටලු සඳහා කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අමාත්‍යවරයා එහිදී නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
එසේම කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු සඳහා සීතාවක ප්‍රාදේශීය සභාව, නගර සභාව, සීතාවක උද්භිත උද්‍යානය ආදී රාජ්‍ය ආයතනවලින් සහයෝගය ලබා ගන්නා ලෙසත් විදුර වික්‍රමනායක මහතා එහිදී සඳහන් කළේය.
සීතාවක රාජධානියට අයත් කෞතුක භාණ්ඩ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු කෞතුක භාණ්ඩ සීතාවක කෞතුකාගාරයේ තැන්පත් කිරීමට නියමිතය.
හිටපු ජනාධිපති උපදේශක සහ හිටපු කොළඹ නගරාධිපති සීතාවක උරුමය පදනමේ අනුශාසක ප්‍රසන්න ගුණවර්ධන, සීතාවක නගර සභා මන්ත්‍රී සීතාවක උරුමය පදනමේ සභාපති එච්.ඒ.එච්. උභයජීව, සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජයන්ත රෝහණ, සංස්කෘතික අරමුදල අතිරේක අධ්‍යක්ෂ ජනරාල් චන්දිම බෝගහවත්ත, නාවික හමුදාවේ නඩත්තු ඉංජිනේරු අයි. ජී. පණ්ඩිතරත්න යන මහත්වරු, නගර සභා මන්ත්‍රීවරු, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීහු, සීතාවක උද්භිත උද්‍යානයේ නිලධාරීහු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.