යාපනය ටවර් සිසුන්ගේ රංගකෞෂල්‍යය ඔප්නංවන්න පැවති ගැටළුවලට කඩිනම් විසඳුම් …

ජූනි 23rd, 2024

ටවර් හෝල් නාට්‍ය පාසලේහි යාපනය ශාඛාවේ නාට්‍ය හා රංග කලාව පාඨමාලාව හදාරනු ලබන සිසු දැරියන් සමඟ සුහද සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) යාපනයේ චංකානයි සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

නාට්‍ය පාසලේ ඩිප්ලෝමාව හදාරන සිසු දරුවන්ට මේ වන විට පවතින පහසුකම් සම්බන්ධයෙන් සහ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසත්, ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ සාකච්ඡා කර නාට්‍ය පාසල පවත්වාගෙන යාම සඳහා නව ගොඩනැඟිල්ලක් ලබාදීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එහිදී නාට්‍ය හා රංග කලා ක්ෂේත්‍රයේ සේවය කරන දෙමව්පියන්ගේ සිසු දරුවන්ට සහ රජයේ සමෘද්ධි දීමනාව ලබා ගන්නා පවුල්වල සිසු දරුවන් සඳහා සියයට විසිපහක පාඨමාලා ගාස්තු අඩු කිරීමක් සිදුකරන බවද විදුර වික්‍රමනායක මහතා එහිදී පවසා සිටියේය.

ටවර් හෝල් රඟහල පදනමේ යාපනය ශාඛාවේ දෙමළ නාට්‍ය අංශයේ කතිකාචාර්ය ටී. අජුරන් මහතා, ගුරුවරු, ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.