දෙවන සමාධි බුදු පිළිමයේ ගල් කණු සංරක්ෂණය කිරීම ආරම්භ කරයි …

ජූලි 13th, 2024

පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන මූලික කර ගනිමින් අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ පුරාවිද්‍යා ව්‍යාපෘති කිහිපයක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ආරම්භ කෙරිණි.

ඒ අනුව අභයගිරි දෙවන බෝධිඝරයේ (දෙවන සමාධි බුදු පිළිමය සහිත) ගල් කණු සංරක්ෂණය කිරීම අද සිදු කෙරිණි.

ගල් කණු වල භෞතික ස්වභාවය නිරීක්ෂණය මිනුම්ගත කිරීම, ඡායාරූප ලබාගැනීම හා වාර්තාකරණය, ඇස්තමේන්තු සකස් කිරීම සහ ද්‍රව්‍ය සම්පාදනය කිරීමෙන් අනතුරුව සංරක්ෂණ කටයුතු ආරම්භ විය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතිරේක ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ,පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුසිත මැන්දිස් යන මහත්ම මහත්මීහු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු, මධ්‍යම සංස්කෘතික අරමුදල නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.