උකුවෙල – පුරිජ්ජල ශ්‍රී ධර්ම සිද්ධාරාමයෙහි පිහිටි පිරිවෙනෙහි ඉගෙනුම ලබන ගිහි පැවිදි ශිෂ්‍යයින් සඳහා, නව පුස්තකාල පරිශ්‍රයක් ස්ථාපනය කිරීම

සැප්තැම්බර් 30th, 2022

පිරිවෙන් අධ්‍යාපනයෙහි ආරම්භක අවදිය මහින්දාගමනයෙන් පසුව සනිටුහන් වුණා. පරිවෙණ යන නාමයෙන් හැඳින්වූ ගොඩනැගිල්ල මුලදී භාවිත වූයේ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් නොවේ. දේවානම්පියතිස්ස රජු භික්ෂුන් වහන්සේ උදෙසා ගොඩනැංවූ ගොඩනැගිලි සමූහය හඳුන්වා ඇත්තේ පරිවෙණ යන නාමයෙන්. ඒ අනුව මුල් කාලයේදී පරිවෙණ හෙවත් පිරිවෙන යනු භික්ෂුන් වහන්සේලා වාසය කරන ස්ථානයයි. එවැනි ස්ථානවල භික්ෂුන් වහන්සේ සඳහා අධ්‍යාපනය ලබා දුන් බව සාවද්‍යයක් නොවේ.

කෙසේ වෙතත් අතිතයේ සිටම අපේ රටේ ගිහි පැවදි දෙපාර්ෂවයෙහිම සිංහල බෞද්ධ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය වූයේ පිරිවෙන් අධ්‍යාපන මධ්‍යස්ථානයි. මෙමගින් අපේ රටේ බිහි වූ ප්‍රාඥයින්, ශ්‍රේෂ්ඨ පඩිවරුන් සුලුපටු නොවේ. අනාගතයේ අපේ රටේ උගත් බුද්ධිමත් ජනතාවක් බිහිකරලීමේ දී මෙම පිරිවෙන් අධ්‍යාපන සම්ප්‍රදායන් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගනිමින් ඒ සඳහා පහසුකම් සලසා දීම දේශප්‍රේමී අප සියළු දෙනාගේම වගකීමක්.

උකුවෙල – පුරිජ්ජල ශ්‍රී ධර්ම සිද්ධාරාමයෙහි පිහිටි පිරිවෙනෙහි ඉගෙනුම ලබන ගිහි පැවිදි ශිෂ්‍යයින් සඳහා, බොහෝ කල් සිට පැවති පුස්තකාලයක අඩුපාඩු සපුරාලමින් නව පුස්තකාල පරිශ්‍රයක් ස්ථාපනය කිරීම පසුගිය දා (27) සිදු වුණා. කොටසක් පමණක් වැඩ නිමවා තිබූ ගොඩනැගිල්ල ඉදිකර නිමවා අවශ්‍ය පොත්පත් සහ අනෙකුත් භාණ්ඩ ලබා දෙමින්, කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය අංග සම්පූර්ණ පුස්ථකාලයක් ප්‍රධානය කරනු ලැබුවා. මීට ඉහත ජාතික උරුම රාජ්‍ය අමාත්‍යංශය පැවති සමයේ දී මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කොට තිබුණා.

පුස්තකාල පරිශ්‍රය විවෘත්ත කිරීමෙන් අනතුරුව පැවති රැස්වීමේ දී මෙවැනි පුස්තකාලයක් මගින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ශිෂ්‍යයන් වෙනුවෙන් සිදුවන සේවාව පිළිබඳව මහා සංඝරත්නය දේශණා කළා. දැහැමි සමාජයක් බිහිකිරීම උදෙසා අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද තම අදහස් පළ කළා.

උකුවෙල – පුරිජ්ජල ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී, උකුවෙල ප්‍ර.ශා මණ්ඩලයේ ගරු සභාපති, මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී හා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී උකුවෙල පංසලාතැන්න අනුරුද්ධ ආරාමාධිපති, අතිපූජ්‍ය මුගුණවෙල අනුරුද්ධ නායක හිමිපාණන්, මාතලේ දිස්ත්‍රික් පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ, උකුවෙල පුරිජ්ජල ශ්‍රී ධර්ම සිද්ධාරාමාධිපති පූජ්‍ය මාවුස්සාවේ අග්ගධම්ම නාහිමිපාණන් වහන්සේ ඇතුළු උකුවෙල පුරිජ්ජල පිරිවෙනෙහි අධ්‍යාපනය ලබා දෙන ස්වාමීන් වහන්සේලා මෙම අවස්ථාව සඳහා වැඩමකොට වදාලා.

මෙම අවස්ථාව සඳහා ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) නිශාන්ති ජයසිංහ, අධ්‍යක්ෂ ජනරාල්(රන්මිණිතැන්න වැඩබලන) සෝමසිරි ඒකනායක, කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත්, අධ්‍යක්ෂ එම්.පී.ඩබ්. ශිරෝමනී, උප සභාපති නලින්ද මාකෙහෙල්වල, නියෝජ්‍ය අධ්‍යක්ෂ සුමිත් ප්‍රනාන්දු ඇතුළු ආයතන නිලධාරීන් එක්වී සිටියා. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද මෙම අවස්ථාව සඳහා සහභාගී වුණා.