උතුරේ ජනතාවගේ සංස්කෘතික ප්‍රබෝධය ඇතිකරලීම ඇතුළු සමාජ සංස්කෘතික ක්‍රියාකරකම් හී කේන්ද්‍රස්ථානය, “යාපා පටුනේ සංස්කෘතික මහ මැදුර” මෙම මස 11 දා උත්සවශ්‍රීයෙන් විවෘත්ත කෙරේ.

පෙබරවාරි 10th, 2023

දිවයිනේ විවිධ ප්‍රජාවන් අතර සහජීවනය සහ සහයෝගීතාව මූර්තිමත් කරන සංස්කෘතික මධ්‍යස්ථානයක අඩුපාඩුව මේ මගින් සපුරාලනු ඇති. ඉන්දියාණු රජය මගින් ලබා දුන් ආධාර මත ඉදි කෙරුණු මෙම යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය මගින්, යාපනය ප්‍රදේශයේ ජනතාව ඇතුළු උතුරු පළාතේ විශේෂයෙන්ම යාපනයේ ජනතාවට ඔවුන්ගේ සංස්කෘතිය සමඟ නැවත සම්බන්ධ වීමට සුදුසු සමාජ යටිතල පහසුකම් සපයනු ලබයි. මෙහිදී විවිධ සංස්කෘතික විෂයයන් පිළිබඳ පුහුණුව, උපදෙස් සහ අධ්‍යාපනය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස ද සේවය සැලසේ. විශාල රංග ශාලාවකින්, මාර්ගගත පර්යේෂණ පහසුකම් සහිත බහු මාධ්‍ය පුස්තකාලයකින්, ප්‍රදර්ශන හා ගැලරි අවකාශයකින් සහ කෞතුකාගාරයකින් ද, භාෂා විද්‍යාගාරයක් ඇතුළුව වාද්‍ය සංගීතය, නර්ථන සහ භාෂා පිළිබඳ පන්ති පැවැත්වීම සඳහා පහසුකම් සහිත උපදේශන අංශයන්ගෙන් ද, සම්මන්ත්‍රණ ශාලාවක් ද සමඟ සමාජ-සංස්කෘතික ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් ලෙස ද ජනතාව වෙත සේවය සැලසේ.

මෙම සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත්ත කිරීමේ වැඩසටහන සංවිධාන කටයුතු ඇතුළු ආයතනයේ ඉදිරි පරිපාලන කටයුතු ක්‍රියාත්මක කෙරෙන ආකාර සම්බන්ධව සොයා බැලීම සඳහා විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් පසුගිය (07) දා එම ස්ථානය වෙත ගියේය. මෙහි දී මෙම මධ්‍යස්ථානය හා සම්බන්ධ පරිපාලන ආයතන ප්‍රධානීන් ඇතුළු කණ්ඩායම් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කළහ. එසේම අමාත්‍යතුමා ගොඩනැගිල්ලෙහි ඇතුලත සහ පිටත ඉදිකිරීම් අවසන්කර ඇති ආකාරය පිලිබඳව ද නිරීක්ෂණය කරනු ලැබූූහ.

මෙම අවස්ථාව සඳහා ඉන්දියාණු කවුන්සිලර් ජනරාල්තුමන්, උතුරුපළාත් ආණ්ඩුකාරතුමන්, යාපනය නගරාධිපතිතුමන්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ප්‍රධානීන් ඇතුළු මේ හා සම්බන්ධ අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂතුමන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.