උමංගල රාජමහා විහාරයේ සංරක්ෂණය කළ ලෙන් විහාරය වැඳපුදන්න, දැකබලාගන්න ජනතාවට අවස්ථාව …

ජූලි 27th, 2024

මාතර, හක්මන උමංගල රාජමහා විහාරයේ සංරක්ෂණය කරන ලද මහනුවර යුගයේ සිතුවම් සහිත ලෙන් විහාරය මහජනතාව සදහා විවෘත කිරීම අද (27) සිදු කෙරිණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ අමාත්‍යාංශය අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය විවෘත කෙරිණි.

මෙම සිතුවම් සහිත ලෙන් විහාරය, විහාරයේ ඉහළමහල වෙත පිවිසීමට ඇති ඉපැරණි පඩිපෙල හා ආරක්ෂිත පැති බැමි සංරක්ෂණය මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාතර ව්‍යාපෘතිය මඟින් සිදු කර ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදල අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්දිම බෝගහවත්ත මහතා, පුරාවිද්‍යා නිලධාරීහු, මධ්‍යම සංස්කෘතික අරමුදල නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.