කලාව යනු විශ්වීය භාෂාවක්,එය දීර්ඝ ලෙස රස විඳිය යුතුයි !

අප්‍රේල් 22nd, 2023

කලාව යනු විශ්වීය භාෂාවක්.කලා නිර්මාණයක් ඉදිරිපත් කළාට පස්සේ එය විශ්වයට එකතු වෙනවා.පසුව එය සියලු දෙනාටම පොදුවේ අයිති දෙයක්.ඒ වගේම නිර්මාණයෙන් ප්‍රකාශ විය යුතු සත්‍ය ඒ සමඟම රස විඳින කෙනාට යම් යම් තීරණ ගැනීමට ඉඩ දිය යුතු යැයි ජ්‍යේෂ්ඨ චිත්‍ර ශිල්පී විශ්ව භූෂණ ආචාර්ය එච්.ඒ. කරුණාරත්න මහතා සඳහන් කරයි.

කරුණාරත්න මහතාගේ 94 වන ජන්ම දිනය නිමිත්තෙන් එතුමන්ගේ සුවදුක් විමසීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු නිලධාරිහු එතුමන්ගේ නුගේගොඩ පිහිටි නිවස වෙත පැමිණි මොහොතේ කරුණාරත්න මහතා මෙම අදහස් පළ කළේ ය.

අපේ රටේ රස වින්දන මට්ටම ඒ තරම් දියුණු නෑ.මේ පිළිබඳව අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕන.චිත්‍ර කලාවේ පැවැත්ම තියෙන්නේ මොහොතක රස විඳිම තුළ නෙවෙයි.එය දැකීමෙන්, හොඳයි පමණක් කියන එකෙන් නෙවෙයි.දීර්ඝ ලෙස රස වින්දොත් තමයි චිත්‍ර කලාවේ පැවැත්මක් තියෙන්නේ යැයි ද එතුමා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වූ කරුණාරත්නයන් ශ්‍රී ලංකාව තුළ හා ඉන් පිටත චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශන ගණනාවක් පවත්වා තිබෙන අතර කෘතහස්ත කලා ගුරුවරයකු ලෙස ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ආචාර්යවරයකු වශයෙන් 1975 සිට 1989 දක්වා සේවය කළ අතර 2010 වසරේ දී දෘශ්‍ය හා ප්‍රසංග කලා විශ්ව විද්‍යාලය සම්මාන ආචාර්ය උපාධියක් ප්‍රදානය කරමින් කරුණාරත්නගේ කලා නිර්මාණ හා අධ්‍යාපනික සේවාව ඇගැයීමට ද අමතක කළේ ය.

හෙළයේ චිත්‍ර කලාව ලෝකයටම ගෙන ගිය සිත්තරාණෙනි, අප ඔබට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නෙමු