ග්‍රන්ථ 07කින් සමන්විත අභිධර්ම පිටකයේ පළමු ග්‍රන්ථය වන “සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්වීම

පෙබරවාරි 13th, 2023

ග්‍රන්ථ 07කින් සමන්විත අභිධර්ම පිටකයේ පළමු ග්‍රන්ථය වන “සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්වීම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරුණු අතර, එහි පළමු පිටපත පසුගිය (09) දා ජනාධිපති කාර්යාලයේ දී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමන් විසින් ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගන්වනු ලැබුවා. එසේම මීට පෙර එළිදක්වා ඇති මජ්ඣිම නිකාය-3, සංයුක්ත නිකාය-1, අංගුත්තර නිකාය-3, ඛුද්දක නිකාය-1, ජාතක පාලි-1 යන ග්‍රන්ථ 05 ද ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණි. විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් පත්කරන ලද සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සම්පාදිත මෙය 28 වන ග්‍රන්ථය ලෙස සැලකේ.

පසුව මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි පැවති සාකච්ඡාවේ දී ථෙරවාදී බුදු දහම, බටහිර රටවල් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව වෙත ව්‍යාප්ත කරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ගරුතර මහා සංඝරත්නය ඇතුළු ගරු ජනාධිපතිතුමන්, විෂය භාර අමාත්‍යතුමන් ප්‍රධාන සියළු දෙනාගේ අවධානය යොමු වූ අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන බුද්ධශාසන අමාත්‍යාංශයට ලබා ගත හැකි ආකාරය පිළිබඳව ද සාකච්ඡා කළහ. එසේම ථේරවාදී බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ද බොහෝ අදහස් පළ කෙරු.

සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය නියෝජනය කරමින් අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක, රාජකීය පණ්ඩිත අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහා නාහිමිපාණන් වහන්සේ, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය මැදඋයන්ගොඩ විජයකිත්ති නාහිමිපාණන් වහන්සේ, රාජකීය පණ්ඩිත ආචාර්ය අතිපූජ්‍ය බලන්ගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාර්යප්පෙරුම යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.