
ජාතීන් අතර බැඳීම් ශක්තිමත් කරමින්, ලෝකයටම ආදර්ශයක් වෙමින් නාරාහේන්පිට අභයාරාමයේ දී ඉෆ්තාර් උත්සවයක්…
අප්‍රේල් 11th, 2023නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති, අති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ ගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය සහ කොළඹ තරුණ බෞද්ධ සංගමය එක්ව මෙම මස 11 දා මෙම උත්සවය සංවිධානය කර තිබුණා.
මේ අවස්ථාව සඳහා සහභාගී වු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා පැමිණ සිටි පිරිස අමතමින්, මෙවන් උත්සව මෙලෙස සංවිධානය කරමින් රටට පමණක් නොව මුළු ලෝකයටම උතුම් ආදර්ශයක් ලබා දී තිබෙන බවත්, එක් කාලයකට පමණක් සීමා නොවී මෙවන් වැඩසටහන් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය බවත් අවධාරණය කර සිටියා. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයත්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් එක්ව, එක් එක් ආගම් අතර අන්‍යෝන්‍ය විශ්වාසය බැඳීම් ශක්තිමත් කරන වැඩසටහන් රාශියක් ආරම්භ කර තිබෙන බවත් මෙම අවස්ථාවේ දී අමාත්‍යතුමා තවදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.
ජාතීන් අතර සංහිඳියාව, එකමුතුබව ශක්තිමත් කරමින් දිවංගත ගරු එම්.එච්. මොහොමඩ් හිටපු කථානායකවරයා සහ ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ හිටපු සභාපතිවරයාගේ සංකල්පයකට අනුව මෙම උත්සවය වාර්ෂිකව පවත්වනු ලබනවා.
සියළුම ප්‍රධාන ආගමික නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අනෙකුත් සිවිල් සමාජ සාමාජිකයන් සහ සංවිධාන නියෝජිතයින් ඇතුළු බොහෝ පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වුණා.