ටවර් දෙමළ නාට්‍ය හා රංගකලා පාසලේ සිසු සිසුවියන්ගේ ගැටළුවලට විසඳුම්…

අප්‍රේල් 3rd, 2023

මාර්තු 27 දිනට යෙදී තිබුණු ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවය වෙනුවෙන් පැමිණි යාපනයේ ටවර් දෙමළ මාධ්‍ය නාට්‍ය හා රංගකලා පාසලේ සිසුසිසුවියන්, එදින පස්වරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන් හමු වූහ.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සියළු දෙනා නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ විෂය සංවර්ධනය පිළිබඳවත්, කලා කටයුතු වල දී ඔවුන් මුහුණ පා ඇති ගැටළු සම්බන්ධයෙනුත් පැමිණි පිරිස සමඟ සාකච්ඡා කළහ. සංගීත භාණ්ඩ හිඟය, දේශන පවත්වන ස්ථානයන් හී පවතින ගැටළුකාරී තත්වයන්, දෙමළ නාට්‍ය කලාවට අයත් කූත්තු නාට්‍ය සම්ප්‍රදාය විෂය නිර්දේශයට ඇතුළත් කරගැනීම සහ සිය නිර්මාණ ප්‍රදර්ශනය සඳහා අවස්ථා ලබාගැනීම ඇතුළු බොහෝ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. පවතින ගැටළු නිරාකරණය කරගැනීම සඳහා අදාල ආයතන ප්‍රධානීන් වෙත අමාත්‍යතුමා විසින් අවශ්‍ය උපදෙස් ලබා දුනි. එසේම ටවර් හෝල් රඟහල පදනම විසින් කොළඹ කේන්ද්‍ර කරගනිමින් පවත්වන ටවර් නාට්‍ය උළෙල යාපනයේ ද පැවැත්වීමටද යෝජනා වූ අතර ඒ සඳහා කටයුතු කිරීමට ද අමාත්‍යතුමා විසින් උපදෙස් ලබා දුනි.

මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමිය (සංවර්ධන), ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල්තුමන්, එහි අධ්‍යාපන පාඨමාලා ප්‍රධානාචාර්යතුමන් ඇතුළු පිරිසක් සහභාගී වූූහ