නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර ජාතික කෞතුකාගාර භූමියේ සංරක්ෂණය කිරීමට තීරණය කරයි.

ජනවාරි 24th, 2023

නැදුන්ගමුවේ රාජා හස්තියා සංරක්ෂණය කිරීම සඳහා යෝජනාවූ ස්ථාන වන මහනුවර අස්ගිරි මහා විහාරය, ගැටඹේ රාජෝපවනාරාමය සහ බෝගම්බර බන්ධනාගාර භූමිය පිළිබඳව සොයා බැලීම සඳහා, විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ඇතුළු කෞතුකාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් පසුගිය දා මහනුවර එම ස්ථාන වෙත ගියහ.

අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ, පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයේ හි වත්මන් විහාරාධිපති ධූරය දරණ අතිපුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ මුණ ගැසී මේ පිළිබඳව අනුශාසනා ලබා ගත්හ. මේ වන විට එම විහාරස්ථානයන් හී ඉඩ කඩ සීමා සහිත වන බැවින් ද බෝගම්බර බන්ධනාගාර භූමියේ නව ඉදිකිරීම් හී අවසාන සැලසුම් සකස්වී නොමැති බැවින් ද පහසුවෙන් ජනතාවට නැදුන්ගමුවේ හස්තිරාජයා දැක බලාගැනීමට ඉඩ සලසමින් ජාතික කෞතුකාගාර භූමියේ මෙම සංරක්ෂණ කටයුතු සිදු කිරීමට අමාත්‍යතුමා විසින්, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර තීරණය කරනු ලැබූහ.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම්තුමිය (සංස්කෘතික ප්‍රවර්ධන), ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්තුමිය ඇතුළු ආයතන ප්‍රධානීන් විහාරස්ථ නාහිමිපාණන් වහන්සේලා හමුවීමට ගොස් සිටියහ