නුවරඑළිය අගමැති මැදුරේ පැවති 217වැනි “අමාදම් සිසිලස”

දෙසැම්බර් 18th, 2021

සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 217 වැන්න උඳුවප් පුරපසළොස්වක පොහොය යෙදෙන අද (18) දින පෙරවරුවේ නුවරඑළිය අගමැති මැදුරේදී පැවැත්විණි.
පළමුව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය මල්, පහන්, සුවඳ දුම් පූජාකර, අනතුරුව ධර්ම දේශනාව සඳහා වැඩම කළ ඓතිහාසික වාරියපොල, කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිණි නුවර ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සමාජ සංවර්ධනය පිළිබඳ සම්මානිත ආචාර්ය ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළාය.
“සද්ධර්ම මාවතේ ගමන් කරමින් බියකරු සසරින් මිදෙන දහම් මග වැඩිය යුතු උදාර දිනය අවභාවිතා කරන බොහෝ පිරිස් සිටියද පින්වත් මහින්ද රාජපක්ෂ අග්‍රාමත්‍යතුමනි ඔබ ආදර්ශමත් රාජ්‍ය නායකයෙක් විදියට 217වැනි වතාවටත් පුර පසළොස්වක පොහොය දිනයේ දහසකුත් කටයුතු අතහැර පසළොස්වක නිවාඩුව අධ්‍යාත්මික දිනයක් බවට පත් කරන්න ධර්ම මාර්ගය දියුණු කරමින් ලෝකයට පින්බර යථාර්ථය විද්‍යමාන කරන්නේ’යැයි දේශකයාණන් වහන්සේ පෙන්වා දුන්හ.
සංඝමිත්තා මහ තෙරණින් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම වීමත් ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ වීමත් ඇතුළු උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ ඇති ඓතිහාසික වැදගත්කම ආචාර්ය ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහිදී සිහිපත් කළහ.

අනතුරුව සප්ත ආර්ය ධනය මාතෘකා පාඨය කරගනිමින් සද්ධාව, සීලය, ලැජ්ජාව, භය, ශ්‍රැතිය, පරිත්‍යාගය, ප්‍රඥාව ඔස්සේ සිය ජීවිතය හැඩගස්සවා ගන්නා අයුරු පැහැදිලිකර දෙමින් ආචාර්ය ගල්ලැහැපිටියේ පේමරතන හිමි ධර්ම දේශනාව පැවැත්වූහ.

“රාජපක්ෂවරු මේ රටේ බලය ගන්න කොට හැමදාම කරන්න වෙච්ච දේ තමයි මිනිස්සු ජීවත් කරවන්නයි මිනිස්සුන්ට ජීවිතය දෙන්නයි වීම. තිස් අවුරුද්දක යුද්ධය නිමා කරලා මහ සඟරුවන මුල්කරගත් ජාතියට ඔබතුමා අභය දානය දුන්නා. දෙවැනි භයානක දේ තමයි අවුරුදු දෙකක් බිහිසුණු කොරෝනාව. පේන්නේ නැති සතුරෙක්. සාර්ථකව සටන් කරල ඒ ව්‍යසනය නියම විදියට කළමනාකරණය කරල අතිගරු ජනාධිපති පින්වත් ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ට දැවැන්ත ශක්තියක් දෙමින් ඔබතුමා නොපෙනෙන සතුරාත් ක්‍රමානුකූලව පරාජය කරල දෙවැනි වතාවෙත් මේ ජාතියට අභය දානය දුන්නා. මේ රටේ ජනතාව මේ ලංකා පොළොව භාර කළේ ඔබතුමාට. මේ මහ පොළාවේ බලය ඔබතුමාව බලගැන්නුවා. අදටත් ඒ ආදරනීය විශ්වාසය මහ සඟරුවනේත් ජාතියේත් හදවත් තුළ තියෙනවා. ජනපතිදුන් අගමැතිදුන් ඇතුළු සියලුදෙනාම ශක්තිමත්ව එකා මෙන් එකතු වෙලා නැවත වතාවක් මේ ජාතියේ බලාපොරොත්තුව යථාර්ථයක් කරමින් ඉදිරි අවුරුදු කාලය තුළ මේ මහ පොළොව සුවපත් කරන දැවැන්ත ක්‍රියාවලියකට අවතීර්ණ වන්න”යැයි ද ආචාර්ය ගල්ලැහැපිටියේ පේමරතන හිමියෝ ධර්ම දේශනය අවසානයේ සඳහන් කළහ.
“පින්වත් ශිරන්ති රාජපක්ෂ ආර්යාවනි, සඟමිත් තෙරණිය අපේ රටට වැඩම කළ දා, ඔබතුමියට යෝජනාවක් කරන්න ඕනේ අපේ රටේ අහිංසක දසසිල් මාතාවරු හුදෙකලාවේ ආරාමවල පන්සල්වල අනගාරිකාවන් හැටියට නිහඬ දිවියක් ගෙවන පින් ඇති රටක් මේක. ඒ පින් ඇති සිල් මාතාවෝ අපි සංවිධානය කරල ඉදිරි අවුරුදු කාලය තුළ මේ සංඝමිත්තා දිනය ජාතික දිනයක් බවට පත්කරමු. අපේ රටේ සැබෑ කාන්තා දිනය වන්නට ඕනේ සඟමිත් තෙරණිය ලක්දිවට වැඩම කළ අනුලා දේවිය ඇතුළු 500 ක් පැවිදි භාවය ලැබූ මේ උත්තරීතර දිනයයි. අපි ඊළග අවුරුද්දේ ජාතික සංඝමිත්තා දිනය අනුස්මරණය කරලා අහිංසක සිල් මාතාවෝ ආරක්ෂා කරල පුහුණු කරල ජාතික වැඩපිළිවෙලකට මේ රට පෙළ ගස්සවමු” යැයි ආචාර්ය ගල්ලැහැපිටියේ පේමරතන හිමියෝ ඉල්ලීමක් ද කළහ.

ධර්මදේශනාව අවසානයේ දී දේශකයාණන් වහන්සේට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය අෂ්ඨපරිෂ්කාර සහ පිරිකර පූජා කරනු ලැබුවාය.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව පැවති “අමාදම් සිසිලස” ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා , අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අමාත්‍ය සී.බී. රත්නායක මහතා ඇතුළු සීමිත පිරිසක් එක්ව සිටියහ.