පල්ලේපොළ සංස්කෘතික මධ්‍යස්ථානය ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ නමින් නම් කෙරේ…

මැයි 11th, 2024

මෙරට 49 වැනි සංස්කෘතික මධ්‍යස්ථානය වන පල්ලේපොළ සංස්කෘතික මධ්‍යස්ථානය දිවංගත ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ නමින් නම් කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය අද (11) සිදු කළ අතර ප්‍රාදේශීය කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පල්ලෙපොළ දී පැවැත්විණි.

රාවණා ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මකව ලිපි හා පොත් පත් රැසක් මෙරටට දායාද කළ ඔහු මෙරට රාජ නාමාවලිය, කුල භේද තත්ත්වය, පාරම්පරික ගති පැවතුම්, සිරිත් විරිත් නම් ආදී ගවේෂණාත්මක තොරතුරු රැසක් මෙරටට සම්පාදනය කළ කතුවරයෙකි.

සීගිරිය කාශ්‍යප රජු නිර්මාණය කළ එකක් නොව විශ්‍වමුනි නම් වූ රාවණා රජුගේ පියා විසින් නිර්මාණය කළ එකක් බව ඔහු මෑත කාලයේ රට පුරා ආන්දෝලනාත්මක හෙලිදරව්වක් කිරීමද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබිණි.

පල්ලේපොළ සංස්කෘතික මධ්‍යස්ථානය ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ නමින් නම් කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මාතලේ උතුරු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලකිරියාව කොබෑවැහැර උභය විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ, පල්ලේපොළ වේළුවන පිරිවෙනෙහි විශ්‍රාමික පරිවේනාධිපති පල්ලේපොළ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධීකාරී පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ බිරිඳ ටිකිරි කුමාරි ඔබේසේකර ඇතුළු පවුලේ ඥාතීහු, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න යන මහත්ම මහත්මීහු, ප්‍රාදේශීය කලාකරුවෝ, සංස්කෘතික මධ්‍යස්ථානයේ දූ දරුවන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.