රිදීගම සංස්කෘතික මධ්‍යස්ථානය ජනතා අයිතියට…

මාර්තු 13th, 2023

ඓතිහාසික රිදීගම රාජ මහා විහාරය ආශ්‍රිත භූමි භාගයක ඉදිකරන ලද මෙම රිදීගම සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණ වන්නේ, ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ, දූ දරුවන්ගේ කලා කුසලතා වැඩිදියුණු කරගැනීම සහ එලිදැක්වීමේ මධ්‍යස්ථානයක් වශයෙන් උපරිම සේවයක් සැලසීමයි.

ප්‍රදේශයේ ආරාධිත කලා ශිල්පීන් ගේ ප්‍රධානත්වයෙන් 11 දා රිදීගම සංස්කෘතික මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කෙරුී. එහි දී ප්‍රථමයෙන්ම ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ ප්‍රවීන මුද්‍රා නාට්‍ය ශිල්පී නාට්‍ය විශාරද නිමල් නවරත්න මැතිතුමන්, ප්‍රවීන ලේඛිකා චන්ද්‍රා පිටියේගෙදර මැතිණිය ඇතුළු ප්‍රදේශයේ ප්‍රවීන කලා ශිල්පීන්, අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා විසින් ඉමහත් ගෞරවයෙන් පිළිගණු ලදී. එම කලා ශිල්පීන් විසින්ම තම ප්‍රදේශයේ සංස්කෘතික මධ්‍යස්ථාන සමරු ඵලකය නිරාවරණය කිරීමත් විශේෂත්වයක් විය. ප්‍රදේශයේ දරුවන්ගේ ගායන නර්තනාංග වලින් අලංකාරවත් වූ මෙම අවස්ථාව තුළින් ප්‍රදේශයේ අනාගත දරුපරපුරට, විශාල පිරිසක් මැද තම හැකියාවන් ඉදිරිපත් කිරීමට ලැබීමම සුවිශේෂී අත්දැකීමක් බවට පත්විිය

මෙම අවස්ථාව සඳහා ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ වින්සද් වාර්ගික කාරක සංඝ සභික, ඓතිහාසික රිදීගම රාජ මහා විහාරය ඇතුළු විහාරස්ථාන කිහිපයක භාරකාරත්වය දරණ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක ස්වාමීන් වහන්සේලා ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු මංජුලා දිසානායක මැතිණිය, හිටපු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රී ගරු ආර්.ඩී.විමලදාස මැතිතුමන් ඇතුළු ජනතා නියෝජිතයින් සහභාගී වූූහ

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික්ලේකම්තුමිය, ආයතනයේ අනෙකුත් ප්‍රධානීන් ඇතුළු එහි නිළධාරීන්, රිදීගම ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු එහි ආයතන ප්‍රධානීන්, සහකාර පොලිස් අධිකාරී ලියනගමගේ, ඉබ්බාගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්, විදුහල්පතිවරුන්, ඇතුළු රාජ්‍ය නිළධාරීන්, වර්ල්ඩ්විෂන් ආයතන නිලධාරීන් ඇතුළු මහත්ම මහත්මීන් බොහෝ දෙනෙක්ද, ප්‍රදේශයේ කලායතන බොහෝමයක් ද ප්‍රදේශයේ දරුවන් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී  වූහ. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් රණසිංහ, සහකාර ලේකම් සජීවනී චන්දිමා ඇතුළු අමාත්‍යංශ නිළධාරීන්, සංස්කෘතික මධ්‍යස්ථාන නිළධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන් බොහෝ පිරිසක් ද පැමිණ සිටීයෝය.