ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් …

අප්‍රේල් 26th, 2023

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය පැවැත්වීම පිළිබඳව සාකච්ඡාවක් අද (24) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණි.
වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම උපසම්පදා විනය කර්ම මහෝත්සවය එළැඹෙන ජූලි 21 වනදා සිට 27 දක්වා මාතලේ, පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් මහවැලි ගංගාවට අනුබද්ධ සුදු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්වෙන අතර එහි සමාරම්භක උත්සවය සඳහා සාම්ප්‍රදායානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද සහභාගිවීමට නියමිතය.

රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුි. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ඇතුළු බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ද ප්‍රධාන සංවිධාන කාර්යයන් සිදු කිරීමට නියමිති. මෙම පුණ්‍ය මහෝත්සවය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් මීලඟ සාකච්ඡාව මැයි 18 වන දා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වනු ලැබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නායක ස්වාමීන් වහන්සේ, අනුනායක හිමිවරුන් වන රාජකීය පණ්ඩිත පූජ්‍ය මාතලේ ධම්මකුසල ස්වාමීන් වහන්සේ, පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ නිකායික භික්ෂුන් වහන්සේලා ද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, ශ්‍රී ලංකා මහා විහාර වංශික රාමඤ්ඤ නිකායේ නිකායාරක්ෂක සභාවේ විධායක සභාවේ සභාපති දේශබන්ධු කරු ජයසුරිය, භාණ්ඩාගාරික මර්වින් ගුණවර්ධන, ජ්‍යෙෂඨ උප සභාපති කේසර ලාල් ගුණසේකර යන මහත්වරුන්ද බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඇතුළු ප්‍රධානීන් ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහුද, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ආරක්ෂක අංශ නියෝජිතයින් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.