“රූකඩයෙන්” හැඩවුණු රූකඩ දිනය !

මාර්තු 22nd, 2023

ලෝක රූකඩ දින සැමරුමට සමගාමී ලෝක උරුමයක් වූ ශ්‍රී ලංකාවේ අම්බලන්ගොඩ පාරම්පරික නූල් රූකඩ කලාව ප්‍රකට කෙරෙන “රූකඩ නාට්‍ය ප්‍රසංගය සහ සංස්කෘතික දැක්ම“ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ කමත එළිමහන් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් අද (21) පැවැත්විණි.

ජාත්‍යන්තර රූකඩ ශීල්පයන් හා කරට කර දස්කම් දක්වන සුලෝචනා දිසානායක මහත්මියගේ යෝධ රූකඩ,ශ්‍රී ලාංකේය රූකඩ නාට්‍ය කේෂ්ත්‍රයේ අගේසර නිර්මාණකරුවා වන ගම්වාරි ප්‍රේමින් කලාකරුවාගේ නූල් රූකඩ නාට්‍ය සංදර්ශනය,රූකඩ කලා කෞතුකාගාරයක් ආරම්භ කරමින් මෙරටට සුවිශේෂී මෙහෙයක් ඉටුකළ සරත් අබේගුණවර්ධන මහතාගේ රූකඩ කලා සංචිතය මඟින් ඉදිරිපත් කළ රූකඩ සංදර්ශන මඟින් උළෙල හැඩ කෙරිණි.

බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අනුග්‍රහයෙන්, රාජ්‍ය අස්පර්ශනීය සංස්කෘතික උරුම උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව ප්‍රසංගය සංවිධානය කෙරිණි.

බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ භාග්‍යා සී.කටුදෙණිය, රාජ්‍ය අස්පර්ශනීය සංස්කෘතික උරුම උපදේශක සභාවේ සභාපති මහාචාර්ය කමල් වලේබොඩ, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෂාමිලා ක්‍රිෂාන්ති,සහකාර අධ්‍යක්ෂවරු වන ප්‍රසාද් චන්දන,කසුන් සෙනෙවිරත්න, බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු සහ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.