ලංකාතිලක රජ මහා විහාරස්ථානයේ ඓතිහාසික බිතුසිතුවම් සංරක්ෂණය පිළිබඳ නිරීක්ෂණය

සැප්තැම්බර් 30th, 2022

කොළඹ – මහනුවර මාර්ගයේ පිළිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර් 04 පමණ දුරින් ඓතිහාසික ලංකාතිලක රජ මහා විහාරය පිහිටා තිබෙනවා. විශ්මයජනක වාස්තු ලක්ෂණ වලින් සමන්විත, ගම්පොල යුගයේ ඉදිකරනු ලැබූ ලංකාතිලක විහාරයේ ඉතිහාසය ක්‍රි.ව.14 වන සියවස පමණ දක්වා දිවයනවා. ස්වභාවික පිහිටි ගල් පර්වතයක් මත අලංකාර ලෙස විහාර ගොඩනැගිලි ඉදිකර ඇති අතර පිළිමගෙය ඊටම ආවේණික වූ සාම්ප්‍රදායික සිංහල මූර්ති හා වාස්තු ලක්ෂණයන්ගෙන් සමන්විතයි. එහි ඇතුල් බිත්ති මහනුවර යුගයේ සිතුවම් වලින් අලංකාර කොට තිබෙනවා. මහනුවර ලංකාතිලක විහාරය ක්‍රි.ව. 1341-1351 කාලයේ දී හතරවන බුවනෙකබාහු රජතුමා විසින් ඉදිකොට ඇති බවට විෂ්වාස කෙරෙනවා.

මල්වතු විහාර වාසී, විසත් වර්ගික කාරක සංඝ සභික, ලංකා තිලක රාජ මහා විහාරාධිපති පූජ්‍ය අමුණුගම රාජගුරු විපස්සී නාහිමිපාණන් වහන්සේ විසින් ‌ෙඑතිහාසික ලංකා තිලක රජ මහා විහාරයේ වර්තමාන විහාරාධිපතිත්වය දරණවා.

මෙම පුරාණ විහාරස්ථානයේ ඓතිහාසික බිතුසිතුවම් සංරක්ෂණය පිළිබඳ නිරීක්ෂණය කිරීමේ කටයුතු පසුගිය දා (27) කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය සමග එක්ව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ජාතික උරුම අංශය විසින් සිදු කරනු ලැබුවා.

මෙම නිරීක්ෂණ කටයුතු සඳහා ජාතික උරුම අංශයේ අතිරේක ලේකම්(සංවර්ධන) නිශාන්ති ජයසිංහ, අධ්‍යක්ෂ ජනරාල්(රන්මිණිතැන්න වැඩබලන) සෝමසිරි ඒකනායක, කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත්, අධ්‍යක්ෂ එම්.පී.ඩබ්. ශිරෝමනී, උප සභාපති නලින්ද මාකෙහෙල්වල, නියෝජ්‍ය අධ්‍යක්ෂ සුමිත් ප්‍රනාන්දු ඇතුළු ආයතන නිලධාරීන් එක්වී සිටියා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පලාත් සහකාර අධ්‍යක්ෂවරුන්, උඩුනුවර කලාප භාර නිළධාරීන්, පර්යේෂණ නිළධාරීන් ඇතුළු කන්ඩායමක් ද මෙම කටයුතු සඳහා සහභාගී වුණා. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් මෙම නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වෙමින් සංරක්ෂණ කටයුතු සඳහා අදාල අංශ වෙත උපදෙස් ලබා දුන්නා.