ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සුර්යය බලයෙන් විදුලිය !

මාර්තු 29th, 2023

සමස්ත ලංකා සිල් මාතා ජාතික මණ්ඩල රැස්වීම ජාතික සිල්මාතා සංගමයේ ප්‍රධාන සභාපති ගරු පොළොන්නරුවේ ධම්මානන්දා මෑණියන් වහන්සේගේ හා ප්‍රධාන ලේඛකාධිකාරී ගරු මුල්කිරිගල සීලප්‍රිය මණින්ද්‍රා මෑණියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (28) පැවැත්විණි.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා වස විසෙන් තෝර දේශීය භෝග වගා කිරීම හා පරි‍භෝජනයට කාන්තා ප්‍රජාව වැඩි වශයෙන් උනන්දු කිරීම සම්බන්ධයෙන් කටයුතු සිදු කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ජාතික සිල්මාතා සංගමයේ ප්‍රධාන සභාපති ගරු පොළොන්නරුවේ ධම්මානන්දා මෑණියන් වහන්සේ ප්‍රමුඛ සිල්මාතාවරුන්ගෙන් එහිදී ඉල්ලීමක් කළේ ය.

එළැඹෙන වෙසක් සතිය තුළ සිදු කිරීමට නියමිත වැඩසටහන් අතුරින් හැකි පමණින් සරළව හා චාම් ලෙස මේ වැනි වැඩසටහන් ද සිදු කරන මෙන් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ අතර, ඉන්දීය රජයේ ආධාර මත ජුලි මස වන විට සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සුර්යය බලයෙන් විදුලිය ලබා දීමට අදාලව මූලික අධියරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත්, එතෙක් විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකිව බරපතළ ලෙස ප්‍රශ්න පවති නම් තමා වෙත දන්වන ලෙසද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙම රැස්වීමේ දී මූලික වශයෙන් සිල්මෑණිවරුන්ට පැන නැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර ඒවා සම්බන්ධයෙන් ලබා දියහැකි විසඳුම් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි.

සමස්ත ලංකා සිල් මාතා ජාතික මණ්ඩල සිල්මෑණිවරු, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, කොමසාරිස් (සංවර්ධන හා ප්‍රගති පාලන) නිරංජ එස්.ජයකොඩි යන මහත්වරු සහ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.