ලෝක ආදිවාසී දින සැමරුම – දඹාන

අගෝස්තු 10th, 2022

“සොඳුරු වූ ලෝකයක් තවමත් අපට උරුම වී ඇත්නම් ඒ ඔවුන් නිසාවෙනි !“
ලෝක ආදිවාසී දින සැමරුම – දඹාන
ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවයට සමගාමීව සැමරුම් වැඩසටහනක් දඹාන, කොටබකිණිය ගම්මානයේ දී ආදිවාසී නායක විශ්වකිර්තී වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් අද (09) පැවැත්විණි.
“සාම්ප්‍රදායික දැනුම සංරක්‍ෂණය හා සම්ප්‍රේෂණය කිරීමේදී ආදිවාසී කන්තාවන්ගේ කාර්යභාරය” යන්න මේවර ලෝක ආදිවාසී දින තේමාව ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කර තිබේ. ආදිවාසී කාන්තාවන් සංස්කෘතිය රැකීම මෙන්ම සාමාජයීය කටයුතුවලදී ඉදිරිගාමී නොවීම හේතුවෙන් මෙම තේමාව යොදා ගෙන ඇති අතර එහි අරමුණ වී ඇත්තේ එම කාන්තාවන් ශක්තිමත් කිරීම ය.

මෙහිදී ලෝක ආදිවාසී දිනය නිම්ත්තෙන් දඹාන ආදිවාසී ගම්මානයේදී විවිධ වැඩසටහන් රැසක් පැවැත් වූ අතර, පරිසර යුක්ති කේන්ද්‍රය සැකසූ “ආදිවාසී භාෂාව” පර්යේෂණාත්මක ග්‍රන්ථය ‍එළිදැක්වීම ආදිවාසී නායක විශ්වකිර්තී වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදු කෙරිණි.

දඹාන ආදිවාසී ජන උරුම කෞතුකාගාරයේ පවතින අඩුපාඩු සහ ආදිවාසී ජනතාවට මතුව ඇති ගැටලු පිළිබඳව සොයා බැලීම හා ඒවාට ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශ නිලධාරිහු එහිදී කටයුතු කළහ.

බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) අනෝජා ගුරුගේ,සංස්කෘතික උරුම අංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ, සංස්කෘතික උරුම අංශයේ අධ්‍යක්ෂ (සැලසුම්) සෝමසිරි ඒකනායක,බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම,සහකාර දිස්ත්‍රික් ලේකම් සමිත සපුතන්ත්‍රි,මහියංගනය ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ,සහකාර ප්‍රාදේශීය ලේකම් අෂානි විජේසේකර,පරිපාලන නිලධාරි ආර්.එම්.බී.පී.රණතුංග,දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරි ප්‍රසාදි ජීවප්‍රිය,දඹාන ග්‍රාම නිලධාරි සියුමාලි විජේකොන්,දඹාන සංවර්ධන නිලධාරි,කේ.ඩබ්ලිව්.එම්.කරුණාරත්න, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු සහ රාජ්‍ය නිලධාරිහු, දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත් වන ආදිවාසීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වුහ.