
ලෝක නාට්‍ය දිනයේ දී ටවර් හෝල් සිසුන් සඳහා විදේශ සංචාරයක් !
මාර්තු 28th, 2023ලෝක නාට්‍ය දින සැමරුම් උලෙළට සමගාමීව ටවර් හෝල් රඟහල පදනම මඟින් සංවිධානය කරන ලද නාට්‍ය දින සැමරුම් උත්වයක් මරදාන එල්.ෆින්ස්ටන් රඟහලේදී නාට්‍යකරුවන් හා ටවර් සිංහල හා දෙමළ නාට්‍ය පාසලේ සිසු දරුදැරියන්ගේ ප්‍රධානත්වයෙන් අද (27) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
1948 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය පිහිටුවීමෙන් පසු, 1961 වර්ෂයේ දී ජාත්‍යන්තර රංග කලා ආයතනය (International Theatre Institute – ITI) විසින් ලෝක නාට්‍ය දිනය සැමරිය යුතු බවට ගත් තීරණයකට අනුව, මාර්තු මස 27 වැනි දිනය ” ලෝක නාට්‍ය දිනය ” නමින් නම් කෙරිණි. ඒ අනුව, 1962 වර්ෂයේ සිට මේ දක්වා ලෝකය පුරා නාට්‍ය දිනය උත්සවාකරයෙන් සමරමින් විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
ජාත්‍යන්තර රංග කලා ආයතනය විසින් සෑම වසරකම ජාත්‍යන්තර තලයේ නාට්‍යකරුවෙකු විසින් රචිත නාට්‍ය දින පණිවිඩයක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර, එය සිය සාමාජික රටවල් වෙත බෙදා හරී. මෙවර ලෝක නාට්‍ය දින පණිවුඩය ඉදිරිපත් කර ඇත්තේ, ඊජිප්තු ජාතික රංගන ශිල්පිනියක් වන සමිහා ආයුබ් (Samiha Ayoub) මහත්මිය විසිනි.
ටවර් සිංහල හා දෙමළ නාට්‍ය පාසලේ සිසු දරු දැරියන් විසින් මෙවර ලෝක නාට්‍ය දින පණිවිඩය සිංහල හා ඉංශ්‍රීසි යන භාෂා ද්විත්වයෙන් ඉදිරිපත් කළ අතර එම සිසුන්ගේ සහභාගීත්වයෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතීන් දෙකක එකතුවකින් එකම වේදිකාවක, ටවර් හෝල් රඟහල පදනම විසින් නිෂ්පාදිත රුමේෂ් ටී. චන්ද්‍රසිරි විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ ‘Next Up’ වේදිකා නාට්‍යයෙහි මංගල දර්ශනය ද මෙහිදී වේදිකාගත කෙරිණි.
ටවර් හෝල් රඟහල පදනමේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් සඳහා විදේශ රටවල් හී වේදීකා නාට්‍ය හා ඒ ආශ්‍රීත අනෙකුත් කාර්යයන් හා පාඨමාලාවන් සිදු කෙරෙන අයුරු අධ්‍යයන කිරීම සඳහා විදේශ සංචාරයක් ලබා දීමට හා නුවර එළිය,මඩකළපුව හා දකුණු ප්‍රදේශයන් ආවරණය වන පරිදි නාට්‍ය පාසල් ආරම්භ කිරීමටත්, ටවර් හෝල් පදනම හා සම්බන්ධ වී දිවයින පුරා තෝරා ගත් පාසල්වල නාට්‍ය සංගම් ආරම්භ කරන බවත් මෙම අවස්ථාවට සම්බන්ධ වූ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී සඳහන් කළේ ය.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී. එම්.එස්. දිසානායක යන මහත්ම මහත්මිහු සහ නිලධාරිහු පාසල් දු දරුවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.