
වසර 34කට පසු ජනරජ පෙරහර වීථි සංචාරය කෙරේ
පෙබරවාරි 22nd, 2023මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන ලද ජනරජ පෙරහර අද (19) මහනුවර නගරයේ දී වීථි සංචාරය කළා. එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
75 වන නිදහස් දින සැමරුමට සමගාමීව මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ආකර්ශණය දිනාගැනීමේ අරමුණෙන් මෙම පෙරහැර සංවිධානය කර තිබුණි. රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර පවත්වනු ලබයි. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ගේ උපදෙස් පරිදි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ සංවිධානයෙන් සහ මෙහෙයවීමෙන් මෙම කටයුතු සිදු කරනු ලැබුණි.
දළදා මාළිගාවේ මෙන්ම සතර මහ දේවාලවල නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහර සංස්කෘතිකාංගවලින් මෙම ජනරජ පෙරහර අලංකාරවත් විය. මෙහි දී සධාතුක ධාතු කරඬුව වෙනුවට මංගල හස්තිරාජයා මතින් ජනරජ ලාංඡනය පෙරහරේ ගමන් කරමින් ප්‍රදර්ශණය කරනු ලබයි. ඊයේ (19) 6.45ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වූ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවදීමෙන් පෙරහරේ කටයුතු අවසන් විය.
ගරු මැති ඇමතිවරුන්, ජාතික ආරක්ෂාව පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීතුමන්, ජනාධිපති ලේකම්තුමන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන්, යුද හමුදාපතිතුමන්, තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමන් ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.