විපුලානන්ද ස්වාමිගේ 77වන සංවත්සරය …

අගෝස්තු 14th, 2024

විපුලානන්ද ස්වාමිගේ 77වන සංවත්සරය නිමිත්තෙන් පවත්වන ලද මුත්තමිල් උත්සවය බුද්ධ‍ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ අරුල් මිගු ශ්‍රි මුත්තුමාරිඅම්මන් කොවිල් පරිශ්‍රයේදි පැවැත්විණි.

මල්මාල පළඳවන ලද ස්වාමි විපුලානන්ද ප්‍රතිමාව පෙරහැරකින් කොවිල් පරිශ්‍රයට රැගෙන ගොස් එහිදි පුදපුජා කටයුතු සිදුකර නැවත එම ප්‍රතිමාව මාතලේ හින්දු විද්‍යාලයේ පන්තිකාමර ගොඩනැඟිල්ලක තැම්පත් කර එම ගොඩනැගිල්ල ස්වාමි විපුලානන්ද නමින් නම් කර එම නාමපුවරුව නිරාවරණය කරන ලදි.

හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන්, මාතලේ ස්වාමි විපුලානන්ද කලා මණ්ඩපය මෙය සංවිධානය කෙරිණි.

එසේම මාතලේ දිස්ත්‍රික්කයේ පැවති රචනා තරඟ, ජාතික මට්ටමේ ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණය කළ සිසුන්ට, ඔවුන් පුහුණු කල පුහුණු කරුවන්ට සහ කලා අංශයෙන් දස්කම් දැක්වු කලාකරුවන්ට හට උපහාර පිදිමක්ද සිදු කෙරිණි.

හින්දු පුජකවරු, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වයි. අනිරුත්තනන් මහතා, මාතලේ හින්දු විදුහලේ විදුහල්පති, ගුරුභවතුන් ,සිසුහු සහ හින්දු භක්තිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.