වේදිකාව හැඩකළ ටවර් ශිල්පින්ට, ටවර් රඟහල පදනමෙන් අවුරුදු තිළිණපත් !

අප්‍රේල් 11th, 2023

වසර ගණනාවක් පුරා දක්ෂතා ප්‍රකට කරමින්,වේදිකා නාට්‍ය කේෂ්ත්‍රයට සුවිශේෂී දායකත්වයක් සැපයූ ටවර් ශිල්පීන් සඳහා අලුත් අවුරුදු තිළිණ ප්‍රදානය කිරීමක් 2023-04-11 කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි සව්සිරිපාය පරිශ්‍රයේ දී පැවැත්විණි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ටවර් හෝල් රඟහල පදනම මඟින් කලාකරුවන් සඳහා අලුත් අවුරුදු තිළිණ ප්‍රදානය වාර්ෂිකව සිදුකරනු ලබන අතර මෙවර ශිල්පින් පනස්දෙනකු වෙත තිළිණ පත් ලබා දීමට ටවර් හෝල් රඟහල පදනම කටයුුතු යොදා තිබුණි.

බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම තිළිණ ප්‍රදානය සංවිධානය කර තිබු අතර, නාට්‍ය ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් සිදු කළ මෙම ශිල්පින්ගේ සුභසාධනය වෙනුවෙන් ඉදිරියේ දී වැඩසටහන් රැසක් ක්‍රියාත්ම කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) නිශාන්ති ජයසිංහ, අතිරේක ලේකම් (පාලන) එම්.එන්.පී. ගුණරත්න, හා ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක, බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු හා කලාකරුවෝ පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.