
ශ්‍රී ලංකා – පකිස්ථාන සංස්කෘතික සබඳතා වර්ධනයට වැඩසටහන් රැසක්…
අප්‍රේල් 16th, 2024ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහිම් උල් අසිස් (Maj. Gen. (R) Faheem UI Aziz, HI (M) සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු අතර නිල හමුවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේදී අද (16) පැවැත්විණි.
නිල හමුවේදී දෙරට අතර පවතින සංස්කෘතික සම්බන්ධතාවය පිළිබඳව කරුණු සාකච්ඡා කෙරුණු අතර දැනට පවතින සංස්කෘතික සහයෝගීතා ගිවිසුම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
ඒ අනුව දෙරට අතර සංස්කෘතික සංචාර හා සංචාරකයන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම, පුරාවිද්‍යා දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳ සම්මන්ත්‍රණ පැවැත්වීම, දෙරට අතර පුරාවිද්‍යාව පිළිබඳව ගවේෂණය කිරීමට ගිවිසුමක් අත්සන් කිරීම, පාකිස්ථානයෙන් සොයාගත් ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම සහ ශ්‍රී ලංකා පකිස්ථාන සංස්කෘතික මධ්‍යස්ථානයක් පකිස්ථානයේ ඉදිකිරීම ආදී කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහා කොමසාරිස් වජිඩ් හසන් හෂ්මි (Mr. Wajid Hassan Hashmi) මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.